Sunday, September 18, 2011

ලෝකය පෙන්වූ අන්ධ නුඹේ නෙත්..

ළඟ ළඟම එන ඡන්දෙට ලකලෑස්ති වෙලා තාප්ප වල කට පුරා හිනා වූගෙන ඉන්න අය හැමතැනම...මිනිස්කමක් ගෑවිලාවත් නැති මූණු ගොඩක් අස්සෙ තාප්පෙකට වාරු වෙලා ඉන්න අහිංසක මූණක් නෙත ගැ‍ටුනෙ අහම්බෙන්..ඒ දිහා හැරිලා බලන්න මාව පෙලඹුවෙ හිත කීරි ගස්සන බටනලා වාදනයක්..ඇත්තටම වචනෙන් කියාගන්න බැරි ලස්සන තනුවක් ඒ හඬට එක් වෙලා තිබුණා..වදනක් වත් නොකියන ඒ මූණෙ පිරිලා තිබුණෙ බටනලා වාදනයෙන් විඳින සතුටක්..ඇඟට වාරු කරලා වැටෙන්න නොදී තියන් ඉන්න සුදු සැරයටිය අසරණ කම නොකියා කියනවා..අන්ධ නෙතකින් ලෝකය දකින ඒ සුන්දර මනුස්සයා පන්ති ඇරිලා යන අපි හැමෝමව මොහොතක් නතර කෙරෙව්වෙ බටනලා වාදනයෙන්.මට විතරක් නෙමෙ මගෙ යාලුවො දෙතුන් දෙනාටත් එතනට වෙලා අහන් ඉන්න හිතිලා.අපිට ඕනෙ වුණා අපිව සතු‍ටු කෙරෙව්ව ඒ සුන්දර මනුස්සයට ආධාර කරන්න.එහෙන් මෙහෙන් එකතු කරගත්තු සල්ලි කොල ටිකත් ගුලි කරගෙන අපි 4 දෙනා ඒ අන්කල් ගෙ ඉස්සරහට ගිහින් හිටගත්තා..

"ක්‍රිස්ටි" එයාගෙ ලා නිල් පාට පරණ වෙච්ච කමිසෙ එල්ලලා තිබුණ හැඳුනුම් පතෙන් අපි නම දැන ගත්තා..එයා තමන්ගෙ බටනලා වාදනයෙන් විදින වින්දනය අපූරුයි.කලබල නගරයක් අස්සෙ මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන අතලොස්සකින් එක්කෙනෙක් ක්‍රිස්ටි අන්කල්..වෙවුලන අත අල්ලලා අපි ගෙනාව රු.40 ඒ අතින් තිබ්බෙ ආඩම්බරයෙන්..අනිත් දෙන්නා කලින්ම අන්කල් ට සල්ලි දීලා අපි පොඩ්ඩක් එහෙ මෙහෙ වුණ අතර..

"කීයක්ද මයෙ පුතේ?" තමන්ගෙ දරුවෙක්ගෙ මුල්ම පඩිය තාත්ත කෙනෙක් ගෙ අතට ලැබුණා වගේ මහා සන්තෝසයක් අන්ධ දෑස අහසට යොමු කරගෙන අන්කල් අහනවා..

"මේ රු 10යි මේ රු.10 යි මේ රු 20 යි රු.40 යි අන්කල්...ඒ පුංචි මුදල ලැබිලා වුණත් ඒ අන්කල් ගෙ හිතේ දෝරෙ ගලන සතුට මූණට ඇවිත්.දෑස් නැතත් හැඟිම් අපට පෙනෙනවා..

"ඔය දරුවො දෙන්නට දෙවියන්ගෙ ‍රැකවරණය ලැබෙන්න ඕනෙ.අසරණයන්ට උදව් කරන්න තව තව ඔය දෑතට හයිය ලැබෙන්න ඕනෙ.."

මෙතුවක් කල් අපිට අත පාපු අපි මුදල් දුන්න හැමෝගෙම වචන වලට වඩා ක්‍රිස්ටි අන්කල්ගෙ ඒ වචන අපේ හිතට දුන්නෙ ලොකූ ආඩම්බරයක්..මම තවමත් දන්නැහැ.අද මට ඒ ඇහුණ බටනලා සද්දෙ තාමත් ආයෙ ආයෙ ඇහෙනවා වගෙ..ඒ වාදනය මතක් වෙන පාරක් ගානෙ මගෙ ඇස් වලට කඳුලු උනන්නෙ ඇයි?මම තාමත් හිතනවා..වේගෙන් එකිනෙකා පරයන ලෝකයේ අද මට අහම්බෙන් මුණ ගැහුණ ක්‍රිස්ටි අන්කල් ඊළඟ ආත්මෙදි ඔය ලස්සන හිතට මෙහෙම අසරණ නොවී ලෝකය දකින්න වාසනාව උදා වෙන්න ඕනෙ...

තේරුම් ගතිමි නුඹට දුන්න මුදල් ණයක් හෝ ආධාරයක් නොවන වග...ඒ නුඹේ වාදනයෙන් සුවපත් කල අපේ සිත් නුඹට කල උපහාරයයි!

Thursday, September 15, 2011

නුඹ කොහෙද අද? : මොන්ටිසෝරියේ මගේ යාලුවා



මොන්ටිසෝරිය අම්මලගෙ තුරුලෙන් ඈත් වෙලා අපි යන පලවැනි තැන.හැමදේම අලුත්..මගෙ මතකයෙ බොඳ වෙලා තාමත් යන්තමින් සිහියට එන සුන්දරම කාලයක්.ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ සිස්ටර්ස් ලත් එක්ක ආසාවෙන් ගත කරපු කාලෙ.අන්තිම කොන්සට් එක දවසෙ කෙල්ලො කොල්ලො බේදයක් නැතුව ඇඳුම් අඳින්න අපි හැමෝම ඇ‍ඟෙ නූල් පොටක්වත් නැතුව ප්‍රධාන ශාලාවට දුවපු හැටි..හරි පුදුම ඉස්කෝලෙ පරිච්ඡේදයක් මට සිහි කරනවා අදටත්.
පුංචි කාලෙ මතකයන් අවුස්සද්දි මගෙ අම්මා මට මතක් කරලා දුන්න එක්තරා චරිතයක් ආයෙමත් දැක ගන්න ආසාවක් ආවා.මොන්ටිසෝරියෙ මගෙ හොඳම යාලුවා.මට ඒ ගැන කිසිම දෙයක් මතකයෙ තිබුන්නැති වුණත් අම්මා කියපු දේ වලින් මම කරුණු එකතු කලා..පොඩි එවුන්ගෙ හිත් පිවිතුරුයි.විෂ ක‍ටු ඒ හිත් ඇතුලෙ හැංඟිලා නෑ.එහෙම කාලෙ මට ලැබිලා තිබුණ යාලුවගෙ නමවත් මට මතක නෑ.අම්මා කියපු විදිහට නම් "ගනේපොල" කියලා තමා කතා කරලා තියෙන්නෙ.
මොන්ටිසෝරියට ආපු වෙලාවෙ ඉඳන් තොර‍තෝංචියක් නැතුව කියවන මේ කෙල්ලයි කොල්ලයි ගැන පන්තියෙ ටීචර් ට නම් බොහොමයක් නඩු තිබුණලු අම්මලාට කියන්න..කියවන්න ගත්තම ඉවරයක් නැති කතාව..මම නම් තාමත් එහෙමමද මන්දා..අන්තිමට දෙන්නව වෙන් කරලා වාඩි කරවන්න ටීචර් ට සිද්ද වෙලා..ඉතිං මේ පුංචි කෙල්ල පන්තියෙ එක කෙලවරකත් පුංචි කොල්ලා අනිත් කෙලවරෙත් ටීචර් වාඩි කරවලා.එහෙම වාඩි කලත් ඉන්ටවල් එකට පස්සෙ ඒ පුංචි කොල්ලා මාව හොයාගෙන එන්නෙ එයාව වාඩි කරවලා තියෙන පුංචි පු‍ටුවත් උස්සගෙනමලූ.ඉතිං වෙන් කරලා වාඩි කරවන එකත් ටීචර් ට අත් අරින්න සිද්ද වෙලා.එකට කෑම කාපු උදේ ඉඳන් කියවපු ඒ පුංචි යාලුවව මම තාම හොයනවා..එකම එක වතාවත් දැක ගන්න ආසා නිසා.ගම්පහ සිරිකුරුස විද්‍යාලයට මොන්ටිසෝරියට ඇතුල් වුණ ඕලු පන්තියෙ හිටපු ගනේපොල..එච්චරයි මං දන්නෙ..මං ගත කරපු අවුරුදු 17 තුල සිය ගාණක් යාලුවො මගෙ ජීවිතේට ආවා..ඒ අතරෙ මුල්ම යාලුවෙක් වුණ කෙනාව දැක ගන්න මගෙ හිතේ තියෙන ආසාව සුලු ප‍ටු නෑ.කවදා හරි මං එයාව හොයාගන්නවා.අද මොකක්දෝ හේතුවක් නිසා එයාව මතකයා ආවා,ඒකයි මේ පුංචි සටහන දැම්මෙ.