Saturday, April 30, 2011

අස්පට් විද්‍යාව


මේක ඇවිත් පුංචි හිත සා.පෙ ලියන්න මාසෙකට විතර කලින් උන සිදුවීමක්...එතකොටත් අපේ විද්‍යාව විෂය කොටස් 3කට බෙදල නොවැ තිබුනේ..ජීව විද්‍යාවයි,රසායන විද්‍යාවයි,භෞතික විද්‍යාවයි....ප්‍රශ්න පත්තරෙත් ආවෙ එහෙමම තමා...මේ අපේ අන්තිමම වාර විභාගෙදි වුණ කතාවක්....කොහොමහරි අපේ විද්‍යාව පේපරේ නම් හරිම සවුත්තුයි..සා.පෙ දි හම්බ උන එකට දෙවනි නෑ ඕං...විදේශ ආධාර ලබාගෙනවත් ලියන්ට බැරි පාටයි...අනේ පුංචි හිත නම් 9 වසරෙන් පස්සෙ ඔය විදේශාධාර ගැනිල්ල නැවැත්තුවා..ඇයි අනේ තියෙන එව්වත් වරදිනවා නොවැ..අනිත් එක පුංචි හිත ගෙන් කොපි කරන් ලියපු එකීට පුංචි හිතට වඩා ලකුණු ඇවිත්..ඒක තමා පුදුමම...හි...හි..හරි හරි දැන් ඒක නෙමේ සිද්දිය...
අපේ ඔය අන්තිම වාර විබාගෙ ජීව විද්‍යා කොටසට අහපු ප්‍රශ්නයක් ගැන...ඒ ප්‍රශ්නෙ තිබුණෙ ජීවීන් ගහණයක් ගැන...ජීවි ගහණයක් යනු කුමක්ද අරකද මේකද රටේ නැති ප්‍රශ්න...
ඕකෙ එක ප්‍රශ්නයක් තිබුණා කැලේක ඉන්න මුව රංචුවක් ගැන ඡේදයක් දීලා ඒ කැලෑවෙ මුව ගහණය වැඩි වීමට හේතු අහලා..එන උත්තර නම් මට මතක නෑ ...කොහොමහරි අපේ අණ්ඩපාල කෙල්ලෙක් ලියල මෙන්න මෙහෙම උත්තරයක්...

"මුවෙක් හා මුව දෙනක් හොරෙන් කැලයට රිංගා ගත් විට එහි මුව ගහණය අනිවාර්යයෙන් වැඩි වේ..."
.
.හැබැයි ඉතින් අපට හොයා ගන්න බැරි උනා මේ කතාව ලියපු එක්කෙනාවනම්..මොකද අපේ මිස් කිව්ව ප්‍රසිද්දියෙ නම කිව නොහැක කියලා..

අරුම සඳ




හිතට පායපු අරුම සඳ නුඹ
මගේ සිත් අහස එලි කල..
දුකක් දී අද හැර ගිහින් ඔබ
නෙතට කඳුලක් ඉතිරි කරවා...
තව තවත් යලි යලිත් හඬවමින් මා..
මගේ දිවියෙන් ඈත් වී ගොස්
වෙනත් තරුවක සිත් ගනීවිද?

සුවඳ රදමින් මගේ සිත මත
ඔබේ සෙනෙහෙට මා තුරුල් කර
ඒ තුලම මා සැතපවූ මුත්
මටත් හොරෙන් නුඹ නික්ම ගොස්
කඳුල පමණක්ම උරුම වූ මං
නුඹට පෙම් බැඳි තාරකාවිය..

Friday, April 29, 2011

අදින් පසු ජීවිතේට වට පිට නොබලමි...

මං අද ලොකු තීරණයක් ගත්තා...මේක මගෙ ජීවිතේට ගොඩා.......ක් වැදගත් එකක් ඔන්න...මොකක්ද දන්නවද තීරණේ බස් එකක යද්දි වට පිට බලන්නැහැ ආයෙ ජීවිතේට.. ::) බලන්ටකො පුංචි හිත අද බස් එකේ ආහාරයක් උනානේ.. :(
මේකයි උනේ...මං ඉතින් බස් එකේ යද්දි වට පිට බල බලම තමා යන්නෙ..බකන් නිලන් යනවට වඩා ඒක හොඳ නැද්ද අප්පා...[ආහ් මං මේ "බකන් නිලන් කියන එකේ තේරුම දැනගත්තෙත් ලඟදි..නොදන්න කෙනෙක් ඉන්නවා නම් මගෙන් අහගන්න හොඳේ...]..කොහොමහරි අදත් සුපුරුදු පරිදී මං බස් එකේ පිටි පස්සෙම සීට් එකේ වාඩි වෙලා සිරි නඹර නඹර ආවා..(ඒ කිව්වෙ නරඹ නරඹ)..කොහොමහරි ඉතින් 1.45 කියන්නෙ ඉස්කෝල ඇරිලා ලමයි ඉන්න වෙලාව නොවැ....මගෙ ඉස්සර ඉස්කෝලෙ ගාවිනුත් ඉතින් බස් එක එක යනවා...මල්ලිලා වගයක් හිටියා අයිස් පැකට් කකා..මං ඉතින් ඒ දිහාත් බලලා ඊට පස්සෙ එතන හිටිය නංගියෙක් එක්ක සුට්ටක් කතා කලා...බස් එක එතන නවත්තපු හින්දන්...හ්ම්ම්ම්...:( ඒ වෙලාව තමා.....වෙලාව..අර නෝටි නරක මල්ලිල ටික අල්ල ගත්තෙ නැතෑ මාව ආහාරයට..
"අනේ අර අක්කි පැටියටත් අයිස් පැකට් එකක් ඕනිලු.."
එතන හිටිය බෝල මල්ලියෙකුත්..එයානම් බෝලම බෝලයි..
"මචං උඹට ඔව්ව වැඩිය කන්න හොඳ නැහැ..ගිහින් දීපන් ඕක අර අක්කට"

"බෑ යකෝ එතකොට මට???"

"ආව් බං මේ බලහන්කො කොල්ලගෙ මනමාල හිනාව..එහෙනම් ඉතින් උඹටත් හරි ගියා ඈ..?"

පිස්සුද යකෝ ඒ අක්ක කෙනෙක්..ඒ මල්ලිත් ලැජ්ජාවෙ ඇඹරෙනවා..මටත් හිනා යන්න එනවා..."

"ආ..නංගියෙක් උනානන් උඹ කැමතී නෙ..ආ.."

"කොතල බටෝ අපි කිව්වෙ උඹෙ අයිස් පැකට් එක දියන් කියලා.හිත නෙමේ..."

දැන් ඒ මල්ලියවයි මාවයි අල්ලං කස්ටියට හොඳ ෆන්...මං කොන්දොස්තරටයි ඩ්‍රයිවර් අන්කල් ටයි හිතින් බැන බැන හිටියා මේ බස් එක අද්දන්නැති හැටි කිය කිය...
දැන් බස් හෝල්ට් එකේ අය හිනා වෙනවා..කමක් නෑ කියමුකො..අපේ ගමේ අයියා කෙනෙකුත් හිටිය බස් එකේ..එයා ඉතින් මගෙ හොඳම යාලුවෙක්..එයා මට ටිකක් ඉස්සරහ හිටගෙන හිටියේ...අපොයි මෙයා දැක්ක මේක...මේ අයිය කරපු කැතම කැත වැඩේ බලන්න..මේ මනුස්පයා මේක දැක්ක ගමන් දගල දඟල හිනා වෙන්න පටන් ගත්තා නොවැ..මං අහන්නේ හිනා උනත් ඔහොම හිනා වෙන එක හරියැ?...එයා හිනා වෙනව දැකලා...බස් එකේ අනිත් අයත් චුට්ටක් වට පිට බැලුවා...එතකොට ඔන්න එයාලත් දැක්කා මං ඉන්න තත්වෙ..:( අනේ...මේ මනුස්පයන්ට හිතක් පපුවක් නැති හැටි..ඔක්කොමලා හිනා වෙනවා..මට උන් හිනාවෙනවා..උන් මට හිනා වෙනවා..මං ජෝකර්...:( ....ඔන්න ඕකයි සිද්දිය..මේ හේතු කොට ගෙන අදින් පසු ජීවිතේට වට පිට නොබලමි...

ආ තව කතාවක්..මේකත් ඉතින් මටම උන වැඩක් තමා..ඒකත් උනේ උදේ ඉස්කෝලෙ යද්දි වට පිට බල බල යන්න ගිහිං...උදේ පාන්දර 5.30 ට විතර ඇති..ඔය පාරෙ ඉන්නවනෙ ඉතින් දුප්පත් අය..එයාල නිදා ගන්නෙත් කඩපිල් අයිනෙ..පව්..ඇත්තටම අපේ රටේ පාලකයෝ මේ ගැනත් ටිකක් හිතන්න ඕනෙ.කොහොමහරි ඒ වගේ ඉන්න තැනක අපේ බස් එක ට්‍රැ‍ෆික් එකට අහු උනා.මේත් ඒ වගේ කෙනෙක්..පොඩ්ඩක් වයස පාටයි..හැබැයි ඩෝප් වගේ... :O උදේ නැගිට්ට ගමන් ඉතින් අර සරම පොඩ්ඩක් හදා ගන්නෙ ඒ වගේ එයත් සරම ලිහිල් කරලා ආයෙ ගැට ගහගන්න හදද්දිම අනේ දෙයියනේ එයාගෙ අතින් සරම අත ඇරුණ නොවැ...:( :( :( අවාසනාවට ඇත්ත කතාවක් මාත් බලන් හිටියෙ ඒ පැත්තමයි..එදත් මං මේ වගේම තීරණේ කලා ආපහු වට පිට නොබලන්න...හික් හික්...හැබැයි තීරණය කොරා මිස ක්‍රියාවට නැංවුනේ නැත...

Tuesday, April 26, 2011

" කඩියා" හා "බිම්බිසාර රජ්ජුරුවෝ"




ඔන්න මං මේ අවුලුදු කාලෙ මතක තියන් හිටපු කතාවක් කියන්නයි හදන්නෙ..අපේ පවුලේ පුරුද්දක් කිව්වත් වැරදි නැහැ..මොකද දැනටමත් දෙතුන් දෙනෙක්ම මේ අබාග්ග්යට මූන දීලා අපේ කස්ටියගෙ ආහාරයක් වෙලා තියෙන නිසා... මන් හොඳම කතා දෙක විතරක් දාන්නම්කෝ..ඔන්න එහෙනම් අහගන්න...
එකෝමත් එක කාලෙක ගම්පහ පැත්තෙ සුට්ටි ගමක ඉන්නවා අක්කා කෙනෙක්..ටිකක් පොත් ගුල්ලියක්..කොහොමහරි මේ එයා සාපෙට මූණ දෙන්න හිටපු කාලෙ උන දෙයක්..මේ අක්කණ්ඩිට එපාම කොරපු විෂය තමා මේ ඉතිහාසය....පොතක් දැක්කත් අහක බලාගන්නවා.(පුංචි හිත නම් ඉස්සර ආසම ඉතිහාසයට)..ඒත් ඉතින් එහෙමයි කියලා විබාගෙට නොලියා ඉන්නැයි..අන්තිම වාර විබාගෙ දවස් වල ඔලුවට පුලුවන් තරම් ඉතිහාසය පටෝගෙන දැන් අක්ක ඔලුව හොලවන්නෙවත් නෑ අවුල් වෙයි කියලා..අහ් හෝව් හෝව් ඉන්න..අක්කගේ පවුලේ විස්තරත් පොඩ්ඩක් ඕනෙ..එයාලගෙ පවුලෙ කෙල්ලො තුන් දෙනයි එක කොල්ලයි..මෙයා පවුලෙ 3න් වැනියා..ගෙදරට කියන්නෙ සූටි කියලා...දැන් හරි..ඔන්න දැන් එක දවසක් රෑ දෙගොඩහරියෙ සද්දයක් ඇහෙනවලු මෙයාගෙ ඇඳ ගාවින්..ඊට පස්සෙ එහෙ දෙවනි අක්ක ලයිට් එක දාලා බලලා..අනේ සූටි අක්කා බිම පෙරලීගෙන මොනවද හොයනවලු නින්දෙන්...කතා කලත් ම්ම්හු...නෝ කතා...ඒ ගමන ලොකු අක්කණ්ඩිත් ලඟට ඇවිත් අහලා
"සූටි ඔයා මොනාද හොයන්නෙ?"
ඔන්න ඒ ගමන නම් වැඩේ හරි..රිප්ලයියක් එනව සූටි අක්කාගෙන්..
"අනේ මං මේ බිම්බිසාර රජ්ජුරුවන්ව හොයනවා..මේකා කොහෙ ගියාද නෑනෙ" අනේ මන්ද ඉතින් අක්ක හීනෙන් දැක්කෙ මොනාද කියලා..
ඔන්න ඉතින් ඒ වගේ තව කතාවක් මේ අපේ අයියා කෙනෙක් ගැන..ඉස්සර එක කාලයක් තිබුණා ඒ අයිය පුදුම බයයි තනියම නිදා ගන්නත්..හතර අතට වැඳල එහෙම තමා නිදා ගන්න යන්නෙ..දැන් නම් එහෙම නෑ ඕං...කොහොමහරි ඔය ඉස්සෙල්ල කියපු කාලේ එක්තරා භයානක රාත්තිරියක සිද්ද උන දෙයක් මේක..බොහෝම භයානකයි හා සත්‍ය සිදු වීමක්.හදවත් දුර්වල මනුස්පයො එහෙම ඇහැක් ඇරලා මේ කතාව බලනවා නෙවේ ඕං..ඒ දවසේ අයියලගෙ ගෙදර එයාලගෙ ආච්චි ඇවිත් හිටිය නිසා අයියට උණේ බිම නිදාගන්න.මොකද ආච්චිට අයියගෙ ඇඳ පරිත්‍යාග කරපු හින්දං.අයියා නිදා ගත්තේ ඇඳ ගාවම බිම.හැමදාම වගේම අයියා හතර පැත්තටම වැඳලා නිදාගත්තත් එදා නින්ද ගියෙ නෑ..මොකද අයියට ලොකු බයක් තිබුනා මොකෙක් හරි ඇවිත් අයියට කරදර කරයි කියලා.
"අනේ දෙයියනේ මං අද මෙහෙම බිම නිදියං ඉද්දි ඇඳ යට ඉඳලා සර්පයෙක්වත් කෑවොත්..???"ඔහොම හිත හිත ඉද්දිම අයියට සද්දෙකුත් ඇහිලා ඇඳ යටින්..දැන් ඇඳ යට බලන්නත් බයයි..අයිය පුලුවන් තරම් තදට ඇස් දෙක පියා ගෙන..අනේ දෙවියනේ මට නයෙක්වත් කෑවොත් කියලා හිතද්දිම මෙන්න එයාගෙ අත කාලා.."අනේ බුදු අම්මේ අනේ බේරගනියෝ මාව නයෙක් කෑවො"අයිය ෆුල් ඩම් එක දාල ගමටම ඇහෙන්න බෙරිහන් දීලා..අහල පහල අයත් ඇවිත්..හෝදිසි කරලා බැලින්නම් නයෙක් නෙමේ කඩියෙක්....:D

Sunday, April 24, 2011

"නුඹ මං ගාව"



සොඳුරු ඉසව්වක ඉඳන් අතීතයට මං හිමින් හිමින් හිත ගෙන ගියෙ හිතේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයගන්න.මෙච්චර කල් එකට හිටපු අය වෙනස් වෙන හැටි පුදුමයි..ඒත් "එකම එක කෙනෙක්" එදා ඉඳන් අද වෙනකනුත් මං ගාව.."කවද ඉඳලද?"...."ඔව් මට වයස අවුරුද්දෙදි විතර ඉඳන්..මේ අවුරුද්දට අපේ මිතුදමට අවුරුදු 15ක්..විශ්වාස කරන්න මේ අවුරුදු 15 පුරා එකම දවසක්වත් අපි තරහ වෙලා නෑ කියලා.. :)..කව්ද ඉතින් මේ?මගෙ හොඳම යාලුවා..ඔව් හැමදාටම හොඳම යාලුව..මේ පුංචි සටහන ඔයා වෙනුවෙන්.මගෙ හැම ප්‍රශ්නෙකදිම මගෙ හැම දිනුමකදිම ඔයා මං ගාව.මං අඬද්දි ඔයත් ඇඬුවා.මං හිනාවෙද්දි ඔයත් හිනා උනා.ඇත්තටම මං කොච්චරක් නම් පින් කරලද ඔයා වගේ යාලුවෙක් ලබන්න. අපි දෙන්නගෙ මිතුදමේ කොච්චර සුන්දර දේවල් ‍රැඳිලා තියෙනවද..අනේ අපිට උන ඇබැද්දි නම් අනන්තයි,අපේ සමාජයෙ හැමෝම හිතන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකට ඉන්නවනම් එයාල යාලුයි කියලනෙ..ඒත් එහෙම නෑ..ඇයි මේ අපි දෙන්නා?අපි කොහොමද එහෙම වෙන්නෙ?අපි දෙන්නටම ඉස්සර වගේම අදත් අපි දෙන්න නැතුවම බෑනෙ..කොච්චර යාලුවො හිටියත් අපි දෙන්න එකට..ඉතින් මට කියන්න ඕනෙ ඔයාගෙයි මගෙයි මේ යාලුකම හැමදාමත් ඒ විදිහටම තියෙන්න ඕනෙ කියලා.ඒ වගෙම හැම ප්‍රශ්නෙකදිම මං ගාව හිටියට ස්තූතියි කියලා...ඒ වගේම මේ ලෝකෙ මේ වගේ මිතුදම් වලින් ලස්සන වෙන්න ඔනේ කියලා.මොකද අද අපි අතරෙ ඉන්න ගොඩ දෙනෙක් තමන් ගෙ වාසියට විතරයි..මාත් ඒක හොඳටම තේරුම් ගත්ත කෙනෙක්..ඒ නිසාමයි මගේ හොඳම යාලුවා වෙනුවෙන් මේ සටහන එකතු කලේ..

"මල් මිලින වී ගිහින් අද
කවුරුවත් නෑ පාලුවක් මිස
වසන්තය යලි නො ඒවිද?
බලන්නට නෙත් කඳුලු පිස
ඇස් අරින්නට බයයි මට
අදුර මට ඔච්චම් කලොත්?
නෑ නෑ මං බය නැහැ
නුඹ මං ගාවනෙ"

Friday, April 22, 2011

"ගායන හැකියාව" හෙවත් ඉල්ලන් කෑම


එක එක අය ඉතින් තමන් ගැන අතිශයෝක්තියෙන් හිතන් ඉන්නවලුනෙ.පුංචි හිතත් ඉස්සර එහෙමයි..හිතන් හිටියෙ මට තරම් හොඳට සින්දු කියන්න වෙන කාටවත් බෑ කියලා.හැබැයි පොඩි පරහකුත් තිබුනා.මොකද මන් හිතන් හිටියෙ ගායන හැකියාව කියන්නෙ පුලුවන් තරම් හයියෙන් බෙරිහන් දීල කෑ ගහන එක කියලා.ඉතින් මන් කරන්නෙ යටි ගිරියෙන් සින්දු කියන එක..තාලයක් නම් ඇත්තෙම නෑ.හැබැයි මගෙ සින්දු ඇහෙන්නෙ ගොඩක් හවස් වරු වලට.මොකද මගේ රසිකොයො ගෙදර ඉන්නෙ ඒ වෙලාවට..ඒ කිව්වෙ මගෙ අම්මා...මට ඉතින් වේදිකාවකුත් තිබුනා.ඒ තමා ගේ ගාව අඹ කොටේ..ඒක උඩට නැගලා මයික් එකට කෝ‍ටුවක් එහෙම ආදේශ කරල තම වැඩ පටන් ගන්නෙ.ඔන්න දැන් ඔක්කොම ලෑස්ති..මන් පටන් ගත්තා සින්දුව."තුම් පාස ආයේ.." වචන දන්නෙත් නෑ ඔහේ කියවනව..මෙන්න ස්න්දුවෙ උච්චතම හරිය එද්දිම පාර පැත්තෙන් කව්ද අත්පුඩි ගහනව..one more one more අස්පට මගෙ රසිකයෙක් නේද?මටත් දැන් මාර සැටිස්..මොකද ඉතින් මගේ සින්දු අහන්නත් අය ඉන්නවනෙ..මාත් ගියා ඉතින් ලොක්කා වගේ පාර පැත්තට..හපෝයි දේයනේ අපේ පැත්තෙ පොල් කඩන එක්කෙනා..ඒ කිව්වෙ පයිලට් උන්නැහැ නොවෙ...එයා පොඩි අඩියක් ගහලා.පොඩි නෑ බෝතලයක් විතර මහිතේ..මං සින්දු කියනවා ඇහිලා එතන පාරෙ නැවතිලා අත්පුඩි ගගහා නටනවා..ළඟ ගෙවල් වල අයත් එලියට ඇවිත් ප්‍රසංගය නරඹනවා..අනේ මගේ කාඩ් කුඩේ කුඩු.අනේ ඉතින් මං එදයින් පස්සෙ ගායන හැකියාව එලි දැක්වීම නැවැත්තුවා...රසිකයො වැඩි නිසා. :D

Monday, April 18, 2011

"පුංචි හිත සින්ඩියකට පා තැබූ වගයි"

ඔන්න ඉතින් පුංචි හිත මාසයක් විතර try කොරලා සින්ඩියකට ගොඩ උනාලු...දැන් ඉතින් ඒ සඳහා ස්තූති කතාව..
පොඩි අය ලොකු අය සීයලා  ආච්චිලා නැන්දලා මාමලා අක්කලා අයියලා මල්ලිලා නංගිලා හැමෝගෙන්ම අවසරයි..! වර්ෂ 2011 යි මාස 4 යි දවස් 18ක් වූ සඳු දින පුංචි හිත සින්ඩියකට පා තැබූ වගයි.. :) ...

පුංචි හිතට උදව් කරපු හැමෝටම තුති..මුලින්ම මගෙ බ්ලොග් එක බලලා මාව දිරිමත් කරපු ගම්ලත්ගෙ සටහන් ලියන ගම්ලත් අයියට තමා ස්තූති කරන්න ඕනි..එයා තමා මට බ්ලොග් එකට එන්න මුලින්ම පාර පෙන්නුවෙ..ඒ තමිර අයියාගෙ බ්ලොග් එක පෙන්නලා.ඒ දෙසැම්බර් මාසෙ අන්තිම..කොහොමහරි මාත් එයාගෙන් අහගෙන profile එකක් හැදුවා ඒ කාලෙම.හැබැයි බ්ලොග් ලියන්න පටන් ගත්තෙ නම් ගිය මාසෙ.. :) ඔන්න ඔහොමයි නොනිමි සිත් අහසෙ මූලාරම්භය..ඊට පස්සෙ මලිත් අයියා තමා බ්ලොග් එක ලස්සන කරගන්න එක එක විජෙට්‍ටු එහෙම හොයා දුන්නෙ.ඇත්තටම එයා ඒ වෙනුවෙන් තමන්ගෙ කාලය කැප කරාට ස්තුති කරන්න වචන නෑ මට..මට සින්ඩියට එන්න උදව් කලෙත් එයා ම තමා.මට පාර පෙන්නුව ඔයාලට ගොඩාක් පින්.ඒ වගෙම "බනී" අයිය දිලීප අයිය කොට ජීවිතේ අක්කා මාරයා අයියා සුලැඟිල්ල එයාලත් මාව දිරිමත් කලා..මූනු පොතේ මගෙ යාලුවොත් මාව දිරිමත් කලා ගොඩාක්..එයාල තමා හැමවෙලේම අලුත් පෝස්ට් දාන්න කියල කරදර කලේ..ඉතින් මෙකී නොකී හැම කෙනාටම ස්තූතියි.කාව හරි අමතක වෙලා නම් සමාවෙන්න..එදා වගෙම හෙටත් මා එක්ක ඉඳල මාව දිරිමත් කරන්න කියල ඉල්ලනවා.එ වගෙම ඉක්මනින්ම අලුත් ලිපි පල කරන්නත් බලාපොරොත්තු වෙනව. :)..ඔන්න මන් ගානෙ පොඩි කේක් එකකුත් හැමෝම බෙදාගෙන කන්න.
             

Tuesday, April 12, 2011

"බලු වැඩක්"

                   

මාත්තුකාව දැකලා කලබල වෙන්න කාරි නෑ..මෙක මේ බල්ලෙක් කරපු වැඩක්....
             ඔන්න මේ සිද්දිය උනේ අපේ අක්කගෙ මඟුල් ගේ දවසට කලින් දවසේ..අක්කා කිව්වට ඉතින් මෙයා මගෙම අක්ක නෙමෙ..එත් අපේ ගෙදර තමා හිටියෙ වැඩට යන්නයි කියල..අක්කගෙ නංගිට අපි බට්ටි කියමුකෝ..එයාට තමා මේ ඇබැද්දිය උනේ..අක්කගෙ මඟුල් ගෙදර නිසා නංගි ලස්සනටම ඉන්න ඕනි නේ..ඉතින් බට්ටි අක්කත් සතියක විතර ඉඳන් ලස්සන වෙනවා..කෙල්ලොනෙ..හැමොම බට්ටි අක්කා මනමාලි වෙන්න යනවයි කිය කිය හිනා වෙනවා..අපේ ගෙදර ඉන්නව කියල මන් කිව්වෙ අර බලු තඩියෙක් බ්ලැකී කියලා..මෙයාට බට්ටි අක්කව අල්ලන්නෙම නෑ..බට්ටි අක්ක රෙදි වනන්න රෙදි වැල ගාවට ගියා විතරයි අනේ මෙයා ඇඟට පැනලා..අක්ක මෙච්චර කල් උන මහන්සිය වතුරෙ.. :( ..බට්ටි අක්කගෙ අතේ හීරිලා..අක්කගෙ මඟුල් ගේනෙ ඉතින් හීරුනත් දුකයි..අනේ දුක හිතුන පාරට අක්කා අඬාගෙන ගෙට ගිහින්..කට්ටිය විස්තර අහද්දි බට්ටි අක්ක හදිස්සියට අඬ අඬ කියලා තියෙන්නෙ මෙන්න මෙහෙම

"අනේ මං මුකුත් කලේ නෑ..මම එතන බුර බුර හිටියේ...බල්ලා මගෙ ඇඟට වනාගෙන පැන්නා.."

ඉතින් කට්ටියට හිනා යන එක අහන්නත් දෙයක් යේ..ඒ උනාට බට්ටි අක්කට ඌරු ජුවල්..පව්..අන්තිමට මඟුල් ගෙදර ගියෙ අත පුරා ප්ලාස්ටර් අලෝගෙන... :D

Wednesday, April 6, 2011

ඉතාලි ගිය අපේ එකා..


මේ කතාවත් අර සිරිපාල ගැනම තමා.ඉස්සර අර ගොඩ දෙනෙක්ට ඉතාලි යන පිස්සුවක් තිබුනෙ.බෝට්‍ටු වලින් ගිහින් හොරෙන් ඉතාලියට යන කාලේ.තාමත් ඒක සිද්ද වෙනවද මන්ද කොහොමින් හරි මේ සිද්දියත් ඒ ගැන..සිරිපාලටත් ඕනෙ උනා ඉතාලි යන්න..එතකොට තමා මිනිහගෙ ‍ෆිට් පොරක් කිව්වෙ අඩු ගානට ඉතාලි යන්න පුලුවන් *****ක් විතර තමා ගාන යන්නෙ කියල..ආයෙ මොනාද දිවිය ලෝකෙ යන්න ටිකට් හම්බුනා වගේනෙ..සිරිපාලත් එක පයින් කැමතී වැඩේට..කොහොමහරි දැන් සිරිපාලයි,‍ෆිට් පොරයි ඉතාලි යන්න සල්ලිත් ගෙව්වා..කොහොමහරි එහෙන් දවසක් කියල එදා රෑට යනවා කිව්ව..දැන් ඔන්න ඒ දවසට ගිහින් බෝට්‍ටුවට නැග්ග.එච්චර කට්ටියකුත් නෑ තව 3න් දෙනයි හිටියෙ.බෝට්‍ටුව එලවන්න දෙන්නයි..ඒජන්සි කාරයයිලු..දවස් ගාණක් මුහුදෙ ඉඳල ඉඳල ඔන්න දැන් ගොඩබිමක් යාන්තම් පේනව..

"අර පේන්නෙ ඉතාලිය තමා..බැස්ස ගමන් පුලුව තරම් දුරක් රට ඇතුලට දුවන්න..නවතින්න එපා මොකද ඔයාලට වීසා නෑනෙ."ඒජන්සිකාරයා උපදේසෙකුත් දුන්නා..

කොහොමහරි පාන්දර කට්ට කරුවලෙ මෙයාලව බස්සලා බෝට්‍ටුව ගියා..මේ දෙන්නත් බැස්ස ගමන් පුලුවන් තරම් දුරක් දිව්වා..දුවල දුවල ඔන්න මහ පාරකට ආවා..

"ඈ බන් මේ ඉතාලියෙ මොන සුද්දෙක්වත් නෑනෙ බන්.."

"මේ උදේ උන් නැගිටල නැතුව ඇති බන්"

"ආහ් වෙන්න ඇති වෙන්නති..දැන් අපි කොහෙද යන්නෙ?"

"බස් එකක් ආවම ඒකක නැගල යන් බන්..නවත්තන තැනකින් බහිමු"

ඔන්න දැන් ගාට ගාට බස් එකක් එනව..

"මචං බස් එකක් නම් එනවා"

"Chilaw බස් එකක් මචං නගිමු..කොහෙන් හරි නවත්තන්නෙ නැතැ..

කොන්දා ආවා..මහත්තයලා ටිකට් ගන්න කොහෙටද යන්නෙ?"

අස්පට මචං මේකා සිංහලනෙ.."

ඔයා මෙහෙට ඇවිත් ගොඩක් කල්ද?දෙන්නා කොන්දා ගෙන් ඇහුවා..

"මොනා අහනවද මහත්තයා අපි උපන් දා ඉඳන් මෙහෙ"

මොකක්?අපිත් ලංකාවෙන්.. : D

මොනවා කියවනවද මන්දා මේ ලංකාවනේ..

කෙලියා තමා..මුන් මෙච්චර කල් ඉඳල ඉඳල අපිව ගෙනත් දාල තියෙන්නෙ හලාවතට යකො..
දැන් ඉතින් ගෙදර යමන්..ඉස්සරහ හොල්ට් අපි බහිනවා.ඔන්න ඔහොමයි සිරිපාලගෙ ඉතාලි යාම

Tuesday, April 5, 2011

ආහ් එහෙනම් දෙපැත්තෙන් දෙකක්ම දාන්නකො

මේක මේ අපේ ගමේ කෙනෙක්ට සිද්ද උන වැඩක්..අපි එයාට සිරිපාල කියමුකො..ගමේ ඔහේ ඇවිද ඇවිද ඉන්න මෙයාට රස්සාවකට ඉන්ටවිව් එකක් ඇවිත්..දැන් ෆුල් සැටිස්..ඉන්ටවිව් එකට යන්නයි කියල බර වැඩ..ඇදුමකුත් මහගන්න ඕනෙ...කඩ්ඩ දන්නවා වගේ ඉන්න ඔනේ..හරියට රස්සාව දැන්මම හම්බ වෙලා වගේ..කොහොමහරි සිරිපාල කලිසමක් මහ ගන්නත් එපැයි..ඒ නිසා මහන කෙනෙක්ගෙ ගෙදර ගිහින් ඔන්න මහන්න ඕනි විදිහ එහෙම කිව්වා.

"හොඳම රෙද්දෙන් මහන්න ඕනි..ලස්සන ට වැඩේ තියෙන්න ඕනෙ.මට මේ ඉන්ටවිව් එකකට යන්න නොවැ.>"

අහ් හරි හරි මහත්තයා..ඒ ගැන බය වෙන්න එපා..මහත්තයාට කලිසම හොඳටම මහලා දෙන්නම්කො."

"අන්න හොඳයි..කලු රෙද්දෙන් මහන්නකො..පස්සෙ මට තව ටිකක් මහගන්න වෙයි..කොහොමද prices එහෙම..ඉගෙන ගත්ත පොඩි වචනෙකුත් දැම්ම ඉතින්

"මුලු ගාණම දැන්ම ඕන්නැහැ මහත්තයා..මහත්තයා advance කීයක් දානවද?"

සිරිපාලත් .දන්නැති උනාට අත ඇරියෙ නෑ.."ආහ් advace එපැයි නේද?එහෙනම් දෙපැත්තෙන් දෙකක්ම දාන්නකො.

කොහොමහරි advance එකේ ඇත්ත කතාව මහන කෙනාගෙන් දැනගත්තට පස්සෙ නම් සිරිපාල වැඩිය කඩ්ඩෙන් කතා කරන්න යන්නැහැලු.

Monday, April 4, 2011

අම්මෙ මං ආදරෙයි






ජපන් ත්සුනාමියේ ඡායාරුප අස්සසෙන් මට හමු උන හදවත් සසල කල පුංචි ඡායාරූපයක් නිසා මට මගේ අම්මා වගේම සියලුම අම්මාවරුන්ගේ අපිරිමිත ස්නේහය ගැන වචනයක් සටහන් කරන්න හිතුනා.මේ ඡායාරූප විවිධ ව්‍යසනයන් නිසා ජීවිතයෙන් සමු ගන්නට උනු පුංචි මල් කැකුලු ළඟ අම්මා කෙනෙක්ගෙ කදුලු ගැන..හැමොම එක වගේ.ඒත් ජපන් සුනාමියේ ඡායාරුපය වෙනස්..ඒ අම්මා තමන්ගෙ පුංචි කිරිකැටියව අතේ තියාගෙන දෙන්නම මරණයට පත් වෙලා..මට මගේ අම්මා ගේන අසීමිත ආදයක් ඇති උනා.මට වගේම ඔයාලා හැමෝගෙම ඇස් වලට කදුලක් ගේන්න මේ පින්තූරය සමත් වෙවි..
                             අම්මා කෙනෙක්ගෙ සෙනෙහසට ළං කරන්න පුලුවන් තවත් සෙනෙහසක් ඇත්තටම නැහැ.. ඒත් ඒ අම්මගෙ ඇස් වලට කදුලු ගෙන්න වැඩ කරන කීදෙනෙක් නම් අය ඉන්නවද..මේක කියවන ඔයාලවත් කිසිම දවසක අම්මගෙ ඇස් වලට කදුලු ගේන්න එපා.අම්මට සතුටක් ආඩම්බරයක් වෙන්න..ජීවිතේ සමහර ප්‍රශ්න නිස ජීවිතෙන් සමුගන්න තීරණය කරන එකෙන් අම්මල කී දෙනෙක් නම් අඬනවද.ඒත් ඔයා මැරෙන්න හදන්නෙ පිට කෙනෙකුගෙ ආදරයක් නොලැබීම නිසා නම්?ඒක මහා පවක්..අම්මගේ ඇස් වලට දුකක් දීල කොහොමද දෙයියනේ එහෙම යන්නෙ..අම්මා කෙනෙක්ට මොන තරම් දුකක්ද..වදාපු අම්මගෙ හදාපු අම්මගෙ ආදරේ අමතක කරලා වෙන කෙනෙක් නිසා ජීවිතෙන් පලි ගද්දි දහ දුක් විඳල ඔයාව මේ ලෝකෙට බිහි කරපු අම්මගෙ හිතට මොනවා දැනෙනවා ඇත්ද?මට ආපු පුංචි ප්‍රශ්නයක් නිසා මං එක දවසක් හොඳටම ඇඬුව මට මතකයි..ඒ වෙලාවෙ මගෙ රත්තරං අම්මා මං ගාවට ඇවිත් මාව තුරුලු කරගෙන ඇඬුව.. පුංචි කාලෙ අඬද්දි සින්දු කියලා මාව නලවගත්තා..ඒත් මන් දැන් කොහොම මගෙ පැටියව නලවන්නද කියලා.මාව අඬවපු අයට වෛර කරනවා කිය කියා අම්ම ඇඬුව.සත්තකින්ම ම්ං ආදරෙයි මගේ අම්මෙ..එදා ඉඳන් කිසිම දවසක මං මගෙ අම්මට පෙන්න ඇඬුවෙ නෑ..
                          අම්මා කියන්නෙ අපට ලැබිල තියෙන වටිනාම ආදරේ..අම්මා කියන්නෙ ලස්සනම වචනෙ කියන්නෙ ඒ හින්දමයි..ආදරයකට ලේ කිරට හරවන්න පුලුවන් නම් ඒ අම්මගේ ආදරයට විතරමයි.සත්තයි මගේ අම්මෙ මම ඔය ඇස් වලට ආයෙ කවමදාකවත් කඳුලු ගේන්නෙ නැහැ..කව් රු කොහොම ආදරේ කලත් අම්ම තරම් මට ආදරේ කෙනෙක් නැහැ..මං දන්නවා මගෙ අම්මේ..හැම කෙනෙක්ම තමන්ගේ අම්මට ආදරේ කරනව නම් මොන තරම් හොඳඳ?එහෙනම් කිසිම අම්මා කෙනෙක් පාරේ හිඟා කන තත්වෙට මහලු මඩම් වල ඉන්න තත්වෙට පත් වෙන්නැහෑ.ඒ වගේම..තවත් පුංචි කතාවක්..අපේ ගමේ ඉන්නව ආච්චි කෙනෙක්..ගොඩාක් දුප්පත්.එකම එක පුතයි ඉන්නේ..රස්සාවක් කරන්නෙත් නැහැ..මේ අම්ම හැමදාම හිඟා කාලා තමන්ට හම්බෙන සල්ලි වලින් බත් ගෙනත් පුතාට දෙනව..ඒත් ඒ පුතා අම්මා ගැන හිතන්නෙවත් නැහැ..අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ දැනෙන්නෙ තමන් ඒ තත්වෙට පත් උන දාකම තමයි
තමන්ගේ පැටියා මුහුදට වැටිලා ඒ පැටියව හොයන්න මුහුදක් සිඳින්න හැදුව ලේනි ගෙ කතාවෙ වගේම ආදරේ වෙනුවෙන් එහෙම නොකලත් අපේ අම්මලත් ඒ වගේ..වචනින් විස්තර කරන්න බැරි ලස්සන ආදරයක්..ඒ හින්දන් ඔයාලත් ඔයාලගේ අම්මලට දුකක් නොදී ආදරේ කරන්න..කවමදාකවත් අම්මගේ ආදරේ අමතක කරන්න එපා..!

ප.ලි ;අම්මා කෙනෙක් ගැන ලිය උන තවත් කතාවක් මේ එක්කම මම ඇමිණුවා..මේ ඒක..මට යාලුවෙක් එව්ව් E mail පණිවිඩයක්..


Sunday, April 3, 2011

අපි මෙතනමයි මිස් හිටියෙ





ඉස්කෝලෙ කාලේ පීරියඩ් එකක් කට් කලේ නැත්තම් වැඩක් නෑ කියනවනෙ ඉතින්..ඒ හින්දන් ඔන්න පුංචි හිතයි එයාගෙ යාලුවො ටිකයි කස්ටිය කල්පනා කොලා IT පීරියඩ් එකක් කට් කරමු කියලා..ඔන්න දැන් වැඩිය කට්ටියත් නැති දවසක් බලලා නමෝවිත්තියෙන්ම වැඩේ පටන් ගත්තා.IT පීරියඩ් එක කට් කරල LAB එකට නොයා කස්ටිය පන්තියේ සාජ්ජයක් දාගෙන..දැන් වැඩේ නැගලා යනවා..එතකොට තමා කට්ටියට කෙල උනෙ..අපි ආවේ නැති නිසා මිස් ඇවිත් අපිව හොයන්න..මිස්ව දැකපු ගමන් පිටිපස්සෙ හිටිය අපේ සෙට් එක මේස යටට රිංඟුවා..එත් ඉස්සරහම එකාට කරගන්න දෙයක් නෑ.මිස් ආවා..
"පුතේ IT ළමයි ටික නැද්ද පන්තියෙ"

ළමයගෙ වාසනාවට මිස්ට එයාව මතක නැ..එයත් පැනපු ගමන් කියපි

"අනේ දන්නැහැ මිස් මම Health කරන්නේ"

"ආහ් කමක් නෑ පුතේ දැක්කොත් කියන්නකො මං ආවා කියල..මිස් ගියා..

දැන් කරන්න දෙයක් නැහැ..lab එකට යන්නම වෙනව..මිස් එක පැත්තක කොරිඩො එකෙන් යද්දි අපි ඔක්කොමලා අනිත් පැත්තෙ කොරිඩෝ එකෙන් දුවලා පල්ලෙහාට බැහැලා lab එකට දිව්ව..සුසන්තිකාලා කැලේ..බැලුවම මිස් තාම ඇවිත් නැහැ..අපි ඉතින් මුකුත් නොදන්න පොඩි එවුන් ටික වගේ ඇවිත් වාඩි වෙලා හිටියා.,අපිව දැක්කම මිස්ට හුස්ම හිර උනේ නැති ටික විතරයි..

"කොහෙද පුතේ හිටියෙ"

"අපි මෙතනමයි මිස් හිටියෙ.අපි එද්දි මිස් හිටියෙ නෑනෙ..අපි ඉතින් ඇතුලෙන් වාඩි උනා ටික වෙලාවක් බලලා..

"මිස්ට පුදුමෙනුත් පුදුමයි..කමක් නෑ එහෙනම් පාඩම කරමු කියලා පටන් ගහ්දිම බෙල් එක ගැහුව පීරියඩ් එක ඉවරයි...ඔන්න ඔහොමයි මගේ පළවැනි පීරියොඩ් කට් කිරිල්ල..

Saturday, April 2, 2011

ගිලිහුන කුසලානය


ලෝක කුසලානෙත් ඉවරයි ඕං..පුංචි හිතට නම් හරිම දුකයි මොකද මහේල යි කුලෙයි අමාරුවෙන් ගොඩ දාපු මැච් එක ෆීල්ඩින් අන්තිම හින්ද බලන් ඉද්දි පැරදුනා..මැච් එක බලද්දි මට නම් හොඳටම තේරුන දෙයක් තමා අපේ කණ්ඩායමේ කණ්ඩායම් හැඟීම ගොඩාක් දුර්වල වෙලා තිබුන වග...අනේ මන්ද මන් දැකපු දෙ තමා ඕං මට මඩ ගහන්න එපා...සංගා අතින් මිස් උන විකට්‍ටුවෛ කුලේ අතින් මිස් උන උඩ පන්දුවයි අපට ලබාගන්න තිබුනා නම් සමහරවිට අපට තරඟය දිනන්නත් තිබුනා..ඒත් ඉතින් ගිය දේ ගියා නොවැ..කොහොම උනත් මේ පාර වැරදි හදාගෙන ඉදිරියට ගියොත් තම හොඳ..සංගා නායකයා විදියට ඊයෙ තමන්ගෙ යුතුකම හරියට ඉෂ්ඨ කලේ නෑ වගේ..මැච් එක මුලදිම අත ඇරලා....ෆීල්ඩින් නම් අන්තිමයි..අන්තිම ඔවර් 2 හරියෙදි මහේලයි සංගයි මුරලි යි කතා කරද්දිත් මොකද්දෝ හුටපටයක් උනා නොවැ..මුරලි ගෙ අන්තිම මැච් එකේදි එයාට හිත රිදුමක් උනා වගෙයි පෙනුනෙ..මාලිංග තමන්ගේ යුතුකම හොඳටම ඉ‍ටු කර..ඒ වගේම හතර අතෙ ගහපු කුලේත් 274ක ලකුනු ‍රැස් කරන්න ලොකු උදව්වක් දුන්නා..අන්තිමට ඉතින් මලයාලම් කාරයන්ගේ සාස්තරයි ඔක්කොම අස්සෙ ඉන්දියාව තර‍ඟෙ දිනුව..ඇත්තටම දක්ෂ කණ්ඩායමක්.අපේ ඇත්තන්ට එයාලගෙන් ඉගෙන ගන්න නම් දෙවල් බොහොමයි..අපේ කණ්ඩායම කණ්ඩායමක් විදිහට එකිනෙකාව දිරිමත් නොකරපු අඩුව ඊලඟ පාරවත් හදාගන්න ඕනෙයි කියලායි පුංචි හිත කියන්නෙ,,ශෙවාග් ලකුනු නොලබාම දැවී ගියා..සචින් දවාගත්තා..ලොකු බල කණු දෙකක් බිඳ හෙලිලත් ඔවුන් තරඟය ජයග්‍රහණයට ගෙන ගියපු හැටි නම් අපූරුයි...උන්නු විදිහට මළා මදැ ඉතින් අපි..

                                 ඔය අතරේ ලෝක කුසලානෙ පොඩි රස කතා ටිකකුත් තිබුනා,ශෙවාග් ට එයාගෙ අංකෙන් අපලයි කියලා තිබුන හින්දන් ශෙවාග් එයාගෙ අංකෙ අයින් කොරලා..හොඳට මැච් එක බලපු අය දකින්නත් ඇති එයාගෙ අංකෙ ඉවත් කරලා තිබුන බව..ඒඅස්සෙ අර පූනම් නෝනා උපන් ඇඳුමෙන් ඇවිදිනව කිව්වලු නොවැ ඉන්දියාව දින්නොත්..බලමුකො කටින් බතල හිටෙව්ව වගේද කියල..ආහ් ඩිල්ශාන්ගෙ විශිෂ්ඨ උඩ පන්දුව ගැනත් කියනම එපැයි..ප්‍රතික්‍රියා වේගය 0.64යි කොහොමද වැඩ?මහේලගෙ ශතකයත් එහෙමමයි..මොනා වුනත් එයා "මහේල නොනා" කියන ඒවනම් හොඳට අහනවා වගේ.. කොහොමින් කොහොමින් හරි ලෝක කුසලානේ අස්සෙ ගෑස්,පෙට්‍රල්,ඩීසල් ගණන් යවපු එක නම් හරිම වැරදී ඕං..අපටත් කෙල උනා..මැච් එකත් කෙල උනා...ඒක තමා පසුවදන..