Showing posts with label නිකමට හිතපුවා. Show all posts
Showing posts with label නිකමට හිතපුවා. Show all posts

Sunday, August 21, 2011

වැහි බිඳුවක පෙම් කලෙමි



වැස්ස..ඔහේ වහිනවා..තේරුමක් නැතුව,ඒත් වැස්ස පොලොවෙ හැම දුක් කන්දරාවක්ම හෝදලා දානවා.වැස්සට පුලුවන් වුණා නම් මගෙ දුකත් ඒ වගේම ගලාගෙන යන්න දෙන්න.මං මේ නගරය අස්සෙ තනි වෙලා..දඩබ්බරව වහින වැස්සට තෙමි තෙමි ඔහේ ඇවිදිනවා.පිස්සෙක් වගේ..අද වගේම අතීතයේ දවසක මෙහෙමම අපි වැස්සෙ තෙමුණ හැටි මගෙ ඇස් ඉස්සරහ මැවුණා

"සුදු අයියෙ වහින්නයි එන්නෙ.."

"අපි අද විතරක් තෙමෙමු..." මං ඒ ඇස් දිහා බලාගෙන කෙඳිරුවා.

"මිනිස්සු හිතයි පිස්සු කියලා.මට නම් බෑ..සුදු අයියත් කුඩේ ඉහල ගන්න..මාත් මගෙ කුඩේ ඉහල ගන්නම්..."

"අපි එක කුඩේ යමු."

"අනේ බෑ කවුරුහරි දැක්කොත් අපිව..විභාගෙ ඉවර වුණාට පස්සෙ යමු..එතකොට අපි ලොකුයි නෙ.."..මං අතින් අල්ලගන්න හදපු හැමදවසකමත් ඔයා මිමිණුවේ ඒ වචන ටික විතරමයි..

"හ්ම්ම්..චූටි නංගි ඔයා කුඩෙ ඉහලගන්නකො එහෙනම්.මට තෙමෙන්න ඕනෙ.."

නිල් පාටින් මල් වැ‍ටුණ කුඩේ අරන් ඔයා ඉහළ ගන්න හැදුවා..ඒත් දඟ කරන මගෙ ඇස් දැක්කම එදා ඔයාට දුක හිතෙන්නෙ ඇති නංගියෝ..

"නෑ අපි දෙන්නම තෙමෙමු.." අපි රොබරෝසියා මල් වැ‍ටුණ පාරෙ ඔහේ ඇවිදගෙන ගියා..මුලු ඇඟම තෙතබරියම් වුණත් අපි දෙන්නම හිනා වුණා..

ඒ එදා..කිසිම දවසක මට හිමි නොවුණ නුඹ කොහෙද අද?.විභාගෙන් පැරදුණ කොල්ලෙක් ළඟ අනාගතය ගොඩ නගාගන්න බෑ කියලා උඹ හිතක් පපුවක් නැති ගානට මාව දාල ගිය හැටි.ඒ වචන එදා වගේම තාමත් මතකයි...අමතක කරන්න හදන වාරයක් වාරයක් ගානෙ ඔය ඇස් මට වද දෙනවා කෙල්ලෙ.උඹ මගෙ ජීවිතෙ වෙලා.ගිය කෙනෙක් වෙනුවෙන් මගෙ හිත තාමත් අඬන්නෙ ඇයි දෙවියනෙ ඇයි?..කල්පනා දැහැන බිඳගෙන ඉස්සරහින් ආව කව්දෝ දෙන්නෙක් මගේ මඟ ඇහිරුවා.

දෙයියනේ චූටි නංගි මගෙ චූටි නංගි මේ ඔයාමද?

කවදාවත් මට අල්ලගන්න නොදුන්නු ඔය සුදු අත අද තවත් අතක වෙලිලා..මං නුඹත් එක්ක යන්න හීන මැව්ව නිල් පාට මල් වැ‍ටුණ කුඩේ යටින් තවත් කෙනෙක් නුඹත් එක්ක..අපේ ඇස් මොහොතකට ආයෙමත් එකතු වුණා.ගොලු වුණ හිතකින් මං ඔය ඇස් දිහා බලාන ඉද්දි ජීවිතේ තව පාරක් නොදන්නා ගානට උඹ මාව දාලා ගියා මගේ චූටි නංගි..උඹ ගියා....පුංචි දේට කඳුලු පෙර පෙර ඇඬුවට කෙල්ලන්ගෙ හිත හයියයි චූටි නංගි..කොල්ලො වගේ නෙමේ..කඳුලු වලින් බොඳ වුණ ඇස් වලින් අන්තිම වතාවට උඹ දිහා හැරිලා බලපු මං ආයෙමත් මේ මහ නගරෙ තනි වුණා.ජීවිතේ තවත් දවසක..

ළඟින් ඉන්නට වරම් නැති සඳ
හඬන මගෙ හිත හදාගන්නට
අනේ තව එක්වරක්වත්
හීනයක් වී වඩින් හිත වෙත

සරුංගලේ..

අගෝස්තු නිවාඩුවත් ආවා.පාඩම් කරන්න කිය කිය අම්මා දෙස් දෙවොල් තියද්දිත් හිත දුවන්නෙ සරුංගල් අරින්න යන්නමයි.සරුංගලයක් නම් හදාගන්න පුලුවනි..ඒත් අලවන්න සව්කොල?තාත්තා නැති දුක තේරෙන්නෙ ඔය වෙලාවට.අම්මා මහන්සියෙන් කිරි කපලා හොයන සල්ලි මාසෙ පිරිමහගන්නත් මදි,ඔට්ටපාලු ටිකක් ගලවන් ඇවිත් විකුණන්න තිබුනා නම්..ඒත් කොහෙද වත්තෙ මහත්තයා ඒ ටිකටත් පෙරේතයි..සති ගාණකට කලින් හදා ගත්ත මොණරා දිලිහි දිලිහි ඉන්නවා දොර මුල්ලෙ..ඒත් අලවන්න සව්කොල?අඩුම තරමෙ පත්තර කෑල්ලක්වත් නැති හැටි.දැන දැන වුණත් අම්මට දුක කියන්න පටන් ගත්තෙ හිත උණු වෙලාවත් රු.10ක් දේවි කියලා,,ඒත් අම්මගෙ හිත යකඩ වගේ,ජීවිතෙත් එක්ක ඔට්‍ටු වෙලාම අම්මගෙ හිත හයියයි.ඉතින් රු.10ක් ඉල්ලගන්න එක හීනයක්ම තමයි.

"පුතේ හොඳ කොල්ලා වගේ ගිහින් රු.30ක විතර භූමිතෙල් ටිකක් අරන් වරෙන්.කඩේට කියපන් පොතට දාන්න කියලා."

"අම්මේ අනිත් කොල්ලො හැමෝටම සරුංගල් තියෙනවා.මගෙ සරුංගලෙත් අලවගන්න සව්කොල ගන්න කීයක් හරි?"

"විකාර නොකර ගෙදෙට්ට වෙලා පොතක් පතක් බලාගනින් කොල්ලො ඉගෙන ගත්තොත් උඹට සව්කොල නෙමෙ ඉටි කොල වුණත් ගත්තැහැකි"

හැමදාම ඉතිං ඔය බණේ තමා..මං හිතේ තියෙන තරහටත් එක්ක වරිච්චි බිත්තියට පාරක් ගහගෙනම එලියට බැස්සා..

"වැස්සට තෙත් වෙලා තිබුණ හින්දද කොහෙද පස් හෝ ගාල බිමට වැ‍ටුණා..

"ඒ ගමන උඹ ගේත් සමතලා කරන්නද කල්පනාව.හැබෑටම උඹට මං මේ විඳින දුක තේරුම් ගන්න බැරි හැටි..
අම්ම්ගෙ ඇස් වල කඳුලු දිලිහෙනවා.ඒත් ඒ කඳුලු කවමදාකවත් බිමට වැටෙන්නැහැ..හැමදාම ඇහැ යට නලියනවා විතරයි..කඳුලු වලට මේ දුප්පත්කම නැති කරන්න බැරි බව දන්න නිසා වෙන්නැති..මෙච්චර කාලෙකට අම්මා අඬනවා දැක්කෙ තාත්තගෙ මළගම දා විතරයි..

අම්මගෙ කන්දොස්කිරියාව අහනවට වඩා හොඳයි කඩේ පැත්තෙ යන එක.කොල්ලො දාම් අදිනවත් බලාන ඉන්ට පුලුවන්.ඒ උනාට මාව කවදාවත් දාම් අදින්න එක්කගෙන නෑ.එතන ඉන්නෙ ලොකු පෝරිසාදයොලු.

කඩේට ගිහින් භූමිතෙල් අරන් එන අතරමග තණකොල බිස්සෙ රු.10ක් වැටිලා තියෙනවා දැක්කෙ.මං රු.10 අතට ගනිද්දි අත වෙව්ලුවා.මොකක්දෝ වේදනාවක් ඇඟ පුරා දිව්වා.විදුලියක් වගෙ.අයිතිකාරයෙක් නැති දේ ගන්න හොඳ නෑ.ඒත් මේකට අයිතිකාරයෙක් ඉඳිද?එයා ආයෙ මේක ගන්න මෙතනට එයිද?මම රු.10 අතේ ගුලි කරගත්තා.වට පිට බලන්නෙ නැතුවම ගෙදර දිව්වා..

"මොකද කොල්ලො බය වෙලා වගෙ?මෙච්චර පරක්කු වුණේ ඇයි.ගේ හරියෙ එලියක් නෑ උඹ භූමිතෙල් ටික අරන් එනකම්.ලාම්පු පත්තු කරන්න පුලුවන් එකක් යෑ.මෙහෙ දියන්.යකෙක් වැහිලා වගෙ ඇස් ගෙඩි ලොකු කරන් බලන් ඉන්නෙ නැතුව."

පහුවැනිදා වෙනකම් මගෙ හිතට පුදුම හදිස්සියක් තිබුණෙ.කුකුලො අඬන්නත් කලියෙන් මං නැගිට්ටා,කඩේ ඇරිය ගමන්ම ගිහින් සව්කොල ගන්න ඕනෙ.කෝක කරන්නත් අම්මා යනකන් ඉන්න එපෑයේ.අම්ම ඇහුවොත් කොයින්ද මේ සව්කොල කියලා මං කියනවා සමීරගෙන් ඉල්ල ගත්තා කියලා.

අම්මා කිරි කපන්න ගිය ගමන්ම මං දිව්වෙ කඩේට.
.
.සුදු පාටයි නිල්පාටයි..කොල පාටයි රෝස පාටයි.එක එක පාට...
"මුදලාලි මට රු.10ක සව්කොල.?"

"පොතටද?"

"නෑ සල්ලි වලට"

මුදලාලි කණ්ණාඩි දෙකට යටින් මං දිහා බැලුවා.හරියට කවදාවත් දැකලා නෑ වගෙ..මං මූණ දෙන්න බැරි කමටම ගුලි කරන් හිටපු රු.10 බිම බලාගෙනම මුදලාලිට දීලා සව්කොල ටික ඉල්ල ගෙන රූං කුරුල්ලා වගේ ගෙදර දිව්වා..රොටී හදන්න තියෙන්න පිටි වලින් ඩිංගිත්තක් හොරෙන් අරගෙන පාප්ප හදාගෙන සරුංගලේ අතට ගත්තා.සුදු පාටින් මුලු සරුංගලේම අලවලා රතු පාටින් ඉරි තිබ්බා.තැඹිලි පාටින් ‍රැල් දැම්මා.හරිම ලස්සනයි..ගේත් එලිය වුණා වගේ හිතුණා මට..

අම්මා ආව ගමන්ම මං අම්මට පෙන්නුවෙ මගෙ සරුංගලේ..අම්මට කිව්වෙ සමීරගෙන් සව්කොල ඉල්ල ගත්තයි කියලා.බොරු කියන්න දුකත් හිතුණා.ඒත් අම්ම බැන්නොත් කියලා බය හිතුණා..මට රෑ වෙනකන් නින්ද ගියෙත් නෑ.පොතක් අතට ගත්තෙ නින්ද යන්නැති හින්දමයි.කෝකටත් කියලා සරුංගලෙත් ළඟින්ම තියා ගත්ත මං කුප්පි ලාම්පුවත් පත්තු කරගෙන පොත දිග ඇර ගත්තා.පොත බලද්දිත් මට මැවි මැවි පෙණුනෙ සරුංගලේ අරින හැටි..මං වෙලට ගෙනිච්චම අනිත් අය වට වෙලා බලන හැටි අහසෙ පාවි පාවි තියෙන හැටි.හිතුනොත් මං සරුංගලේ රෑ තියනවා.උදේම ගිහින් බාන්න බැරියෑ..ඒත් එකපාරටම මොකක්දෝ වැටෙන සද්දෙත් එක්ක මං ගැස්සුණා.පූසා මේසෙට ඇවිත් පුරු පුරු ගානවා.කුප්පි ලාම්පුව බිමට පෙරලිලා..සරුංගලේ ‍රැල් යාන්තමට ගිනි අරං...මං අතින් ගගහා නිවන්න හැදුවත් ගින්න තවත් වැඩි වුණා..පිළිකන්නෙ තිබුන වතුර කලේ අරන් ඇවිත් මං ගින්න නිවද්දිත් සරුංගලේ පිච්චිලා බාගෙට.වතුර පාර වැදුන ගමන් සව්කොල ඔක්කොම දිය වෙලා ගියා..අනේ මගෙ සරුංගලේ..සව්කොල වගේම දියවෙලා ගිය මගේ හීනෙ..බාගෙට පිච්චිලා සව්කොල දිය වෙලා ගිය සරුංගලේ අතට ගත්තම හිතට දැණුන මහ දුකත් එක්ක කඳුලු සට සට ගාල බිමට වැ‍ටුණා.

අනේ හැම ප්‍රශ්නයක්ම උහුලන,කඳුලු නොවැටෙන මගේ අම්මගෙ හිත වගේ මගෙ හිතත් හයිය වුණා නම්?




Saturday, August 20, 2011

නිදහසක් සෙව්වෙමි

මේ ප්‍රශ්න මට වද දෙනවා.දෙයියනේ කියලා හිනාවෙලා ඉන්න හදන හැමතැනදිම ප්‍රශ්න ඇවිත් හිත කඩන ලස්සන.හරියට හිතක් පපුවක් නෑ වගෙ,මං බය නෑ ඕන දේකට ඔට්‍ටුයි.මං මැරෙන්න බය නෑ මේවයින් පැනලා යන්නෙත් නෑ,

ඒ වුනාට හොඳම විසඳුම?මරණය.

මං ගෙනාපු මැහි තෙල් බෝතලේ අතේ තියාගෙන මං කල්පනා කලා.මං මැරුණම කී දෙනෙක් අඬයිද?මං නැතුවම අගේ තේරෙයි හැමෝටම.එක එකා ඇවිත් මගෙ මිනිය ඉස්සරහ හැපි හැපි අඬනකොට මං හිනාවෙනවා හොඳටම.මැරුණට පස්සෙ කොහොම වෙයිද?මං කරපු පින් ඇති වෙයිද හොඳ තැනක ඉප දෙන්න,ම්..ම් අම්මවයි තාත්තවයි නිවාසෙකට යැව්වා.ඒක පවක්ද?නෑ නෙ ඒ දෙන්නට හොඳින් ඉන්න නොවැ එහෙට මං යැව්වෙ.මට වදයක් හින්දම නෙමෙයි නේ.අනික මාසෙකට වියදමට කියල මං සල්ලිත් දෙනවනෙ.නෑ නෑ ඒක ලොකු පිනක් නෙ.එහා වත්තෙ පොල් හොරෙන් කැඩෙව්වා තමා ඒත් ඉතින් එහෙ ගෙදර උන්දැලා දෙන්නා වයසයි නෙ.හෙට අනිද්දා මැරෙන්න ඉන්න උන්ට ඔව්වයෙන් වැඩක් නැති හින්දමයි යැව්වෙ.එතකොට බීගෙන කෑ ගහපුවා..මං බිව්වෙ ආතල් එකටනෙ.එහෙම කලාට පව් සිද්ද වෙන්නෙත් නෑනෙ.අනික බුදු හාමුදුරුවො කිව්වයි කියන්නෙත් පොඩ්ඩක් ගන්න කියලලු නේද කොහෝද ඔව්වා හරියට දැනගන්න මං පන්සලකට දහම් පාසලකට ගිය එකක් යෑ.
හ්ම්ම් එහෙනම් ආයෙ දෙකක් නෑ මං පව් කරලා නැති නිසා මැරුණට හොඳ තැනක ඉපදෙනවා.

මැහි තෙල්?මේවා බීලා මැරෙන්නැතුව ගියොත් එහෙම.ටක්කෙටම මැරෙන සූත්තරයක් තමා හරි යන්නෙ.බෙල්ලෙ වැල දාගන්න එකත් හොඳයි ඒ උනාට හුස්ම හිරවෙද්දි අමාරුයි.රිදෙන්නැති වෙන්නත් ඕනෙනෙ.කෝච්චියට පැන්නොත් නම් ආයෙ කිසි කතාවක් නෑ මැරෙයි.ඒ උනාට මං මැරුණම පෙට්ටියෙ උජාරුවට ඉන්න බැරි වෙයි.කෝච්චියට අහු වුනාම කෑලි ඉතුරු වෙයි යෑ,ඒකත් අත අරිමු.හොඳම දේ මුහුදට හරි ගඟකට හරි පනින එක තමා.ආයෙ බල බල ඉන්න දෙයක් නෑ.දැන්මම ගියා නම් පාලම උඩට.හිත වෙනස් වෙන්න කලින් පනින්න ඕනෙ.

මෙතන ඉඳන් පනින එක ලේසි ආයෙ ගොඩ එන්නත් බෑනෙ.මම පාළම උඩට නැගලා වාඩි වුණා පාලම් ගැට්ටෙ.එක පාරටම පනිනවද නැත්තම් ටික වෙලාවක් ඉඳලම පනිනවද?හිත හිත හිටියොත් බෑ පනිනවා නම් දැන්මම..

මෙතනට වෙනකම් කතාව මතකයි ඉතුරු ටික?මං මැරිලද?එතකොට අර එන්නෙ සුරංගනාවියක්ද?සුදු ඇඳගෙන.ලස්සනයි කරුණාවන්ත පාටයි.මං දැන් නිදහස් මං මැරුණා හැමදේකින්ම නිදහස්..මං නැගිටින්න හැදුවේ ඒ ලස්සන මූණු පොඩිත්ත බලාගන්න

"කව්ද ඔය දඟලන ලෙඩා,හා හා ඔයාට තාම නැගිටින්න හොඳ නෑ..තාම හරියට සනීපයක් නෑ..නිදාගෙන ඉන්න මේ බේත් ටික බීලා"

"ආහ් රිදෙනවා.මං මේ කොහෙද?"

"කොහෙද කියන්නෙ මේ ඉස්පිරිතාලෙ වාට්‍ටුවෙ.පාලමකින් වැටිලා.තව පොඩ්ඩෙන් මැරෙනවා.තාමත් ජීවිතේ ගැන හරියට බලාපොරොත්තුවක් කියන්න බෑ.තත්වෙ ටිකක් බරපතලයි....

"අනේ දෙවියනෙ මට මැරෙන්න බෑ මිසී.අනේ මට මැරෙන්න දෙන්න එපා.මාව බේරගන්න මිසී මාව බේරගන්න...මට මැරෙන්න බෑ..

"මම නම් ග‍ඟෙ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිර වෙනකොට
ගොඩ පීනනවා"

නැවතුමක් නැති සද්ද අස්සෙ සයිවර් කඩේක රේඩියෝ එකෙ සද්දේ යාන්තමින් කනට වැ‍ටුනා

Friday, August 19, 2011

මාතෘකාවක් නැත

හඩන ඇහි පිල්ලමක් යට
මියදේවි මා දුක තුරුල් කොට
පුදන මල්වඩම් නැතුවට
වරෙන් අවසන් වතාවට
මගේ මලගම හෙට!

Thursday, August 18, 2011

එදා සහ අද !

අගෝස්තු නිවාඩුව ආපුවාම අපිට නිවනක් නෑ,සරුංගල් බලන්න කියලා දවසම ගල උඩ ඉන්නවා.ඒ විතරක් යෑ ඇයි සරුංගල් හදලා යවන්න.මාත් දන්නවා සරුංගල් හදන්න.ඒත් උඩ යන්නැහැ.ඉතින් මට සරුංගල් හදලා දුන්නෙ ඉස්සරහ ගෙදර මල්ලි.මල්ලියි මමයි අක්කයි තුන් දෙනාම යනවා සරුංගල් අරින්න.මම 10 වසරට විතර යනකන්ම සරුංගල් අරින්න ගියා අගෝස්තු නිවාඩුවට.කෙල්ලො කොල්ලො බේදයක් නෑ හැමෝම එක්කහු වෙනවා සරුංගල් බලන්න.කොයිතරම් සුන්දරද?

ඉස්සර පුරුද්දට වගේ රෙදි ටික ගන්න ගලට ගියාම මං වාඩි වෙලා පේන අහස් මානයේ සරුංගලයක් හෙව්වා.ඉස්සර සරුංගල් දහ දොලහක් පේන අහසෙ අද එකම එක සරුංගලයක්වත් නෑ,කාලය යද්දි අපි හැමෝම වෙනස් වෙලා,ඒත් අපි ගෙවපු කාලයටත් වඩා අඩු කාලයක් අද පුංචි එවුන්ට ඉතිරි වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා,අපිටත් හැමදාම හවසට පන්ති තිබුණා තමා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි 4 විතර වෙනවා තමා ඒත්...ඒත් අපි සෙල්ලම් කලා.හැමෝම කියනවා වගේ පන්ති නිසා අපේ නිදහස අපිට නැති වුණේ නෑ,නැති වෙන්නෙත් නෑ මට හිතෙන්නෙ.පන්ති ගියාමත් අපිට නිදහසක් තිබුණා සාමාන්‍ය පෙල කරද්දිත්.අපේ පන්තියට එහා පැත්තෙ වෙලේ ගොයම් කපලා ඉවර වුණාම අපි යනවා එල්ලෙ ගහන්න.කෙල්ලො එක පැත්තක කොල්ලො එක පැත්තක.නැත්තම් කලවමේ..පන්ති ඉවර වුණ ගමන්ම දුවන්නෙ වෙලට.වැටි වැටි බෝලෙ පස්සෙ ගිය අපි.මඩ අරන් මූණු වල ගෑව අපි පන්න පන්න කහඹිලියා ගා ගත්ත අපි අද උසස් පෙල කරන්න ඇවිත්..

දැන් උසස් පෙල කරනකොට නම් වැඩ කරන්න තියෙනකොට නිදහසක් නැති බව ඇත්ත ඒත් සාමාන්‍ය පෙළ කාලෙත් ඇති තරම් නිදහසක් තිබුණා.ඒ කියන්නෙ ගිය අවුරුද්ද වෙනකන්ම අපි නිදහසේ හිටියා.එහෙනම් ඇයි මේ?නිදහස නැහැ නෙමෙ අද සරුංගල් යවන්න සෙල්ලම් කරන්න නෙමේ ඊට වඩා දේවල් පොඩි එවුන්ගෙ හිත් වලට ළං වෙලා,තාක්ෂණයත් එක්ක ලෝකෙ වෙනස් වෙනවා.අද සරුංගලේ රෝන්දෙ ගහන්න යන බයිසිකලේ වෙනුවට ෆෝන් එකයි කම්පියුටර් එකයි ළං වෙලා.ඇත්ත මටත් එහෙමයි,හැමෝටම එහෙමයි.ඉස්සර වෙලේ,වත්තේ දුව දුව හැංගි මුත්තම් කරපු අපි,ගස් ඔට්‍ටු දාපු අපි අල්ලන ඔට්‍ටු දාපු අපි කුණු අඹ ගහ ගත්තු අපි කාලෙත් එක්ක වෙනස් වෙලා.අපෙන් එහා අය ඊටත් වෙනස් විදිහකට එයාලගෙ නිදහස ගත කරාවි.අපි කාලයටත් වඩා ඉක්මණට ඉස්සරහට දුවනවා තාක්ෂණයත් එක්ක ඔහේ දුවනවා.ඉතින් හෙට දවස කොහොම වේවිද?