Thursday, June 30, 2011

මට ඉන්න හොඳම වද කාරයා &*#%($&^@(@!

සොහොයුරෙකු නැති සොයුරියක නැති මට කොයින්ද වද කාරයො?නෑ නෑ ඉන්නවා.සොයුරු පෙමක මෙලෙක මට ලබා දුන්න එක කුස නූපන් මගේ අයියා.ලෙයින් බැඳුනු සොයුරු පෙමකට හිමිකම් කියන්න නොලැබුනත් හිතට දැනුන අරුම සහෝදර පෙම.නුඹ ගැන ලියන්න කීපාරක්‌ නම් මම පටන් ගන්න ඇතිද?ඒත් හිත ගොළු වෙලා.කව්රුවත් මේ සොයුරු පෙම තේරුම් නොගනිවිද?ඒත් මං ලියනවා.පුංචි කාලෙ කතා බහ නොකල උනත් අහම්බෙන් දවසක කතා කරල මිතුරුව තදින් බැඳුනු මගේ අයියා.මං හැමෝටම ආඩම්බරෙන් කියන මගෙ අයියා.හැම අයියෙක්ටම තමන්ගෙ නංගියා හැමදාමත් පුංචි මගෙ අයියටත් එහෙමමයි,හැමදාටම මං එයාගෙ පුංචි නංගියා.මගෙ හැම ප්‍රශ්නෙකදිම ලඟින් ඉඳන් හිත හදන ඔයා ජීවිතේ අලුත් විදිහට දකින්න මට ඉගැන්නුවා.ජීවිතයේ යහ මගට නුඹ සෙනෙහසින් මග කියාදුන්නට මං කොහොමනම් වචන ගලපලා තුති පුදන්නද?

"ඉඳල හිටල හරි කෙටි පණිවිඩයක් යැව්වොත් කතා කලොත් ඔයා හැමදාම අහන්නෙ එක දෙයයි,කොහොමද ඉස්කෝලෙ වැඩ?ලකුණු කොහොමද?මොනාද අනේ ඔයිට වඩා ගන්න මගෙ නංගියට බැයිද?"බැනුම් කෝටියයි.

මට මගෙ අයියව තවත් නෑදෑයෙක් කියනවට වඩා ලඟයි.ගොඩාක් ලඟයි,එක කුස නූපන් නුඹ කියා දුන් ජීවිතය ගැන සිහිකරන මං මවන්නෙ මට මගේම අයියා කෙනෙක් හිටියනම් කියලා.ඒත් ඒ අඩුව නොදැනෙන්න සොහොයුරු බැඳීම් මං වටේ වපුරන්න මගෙ අයියට පුලුවන්.සා.පෙ ප්‍රතිඵල ආපු දවස.උදේ පාන්දරම කෝල් කරල නංගො කොහොමද result?තාම අවුට් වෙලා නෑ අයියෙ,බලපු ගමන් කියන්නම්.ඔන්න මට මුලින්ම කියන්න හරිද?මට 9A| කියලා තාත්ත කිය්පු ගමන්ම මං මුලින්ම කිව්වෙ මන් ගොඩාක් ගරු කරන මගෙ අයියට.මං කාටවත් කියන්න කලින් ඔයා ඔයාගෙ යාලුවන්ට මගෙ රිසල්ට්ස් කියලා ඉවරයි,

"ඔයාට මුකුත් අරන් දෙන්න තරම් දැනට මං ගාව සල්ලි නෑ නංගො මං ඔයාගෙ නම්බර් එකට සල්ලි දැම්මා."කෙටි පණිවිඩය දැකපු ගමන් මගෙ ඇසට මටත් නොදැනිම කඳුලක් ඇවිත් අදටත් ඒ දේ මතක් වෙලා කඳුලු පිරෙනව.මගෙ ප්‍රතිපල වෙනුවෙන් මට ලැබුන මුල්ම තෑග්ග මගෙ අයියගෙන්.ඒත් අයියෙක් නැති අක්කෙක් නැති මගෙ ජීවිතේට දුන්න සොයුරු පෙම තරම් වටින දේවල් තවත් තියෙනවද?

මගෙ මහප්පගෙ දුව,ප්‍රාර්ථනා අක්ක මනමාලියක් වුන දවස.එයා යන්න පිටත් වෙද්දි මාත් ඇස් වල කඳුලු පුරවගෙන.
."ඊයා මෙන්න එක්කෙනෙක් අඬනවා.ඔහොම අඬන්න එපා අනේ.මං යනකොට අඬන්නත් කඳුලු තියා ගන්න."

"ඔයා යනවයැ අයියෙ ඔයා අක්කිව ගෙදරට ගේනවනෙ"

"නෑ නගො මං නම් යනවා."

හිතේ තියෙන සහෝදර බැඳිමක් වචන කරන්න තියෙන අමාරුව දන්නෙ එහෙම උත්සහ කරපු කෙනෙක්ම විතරයි.මේ වචන ටික ගැට ගහගන්න මං පැය කීයක් දැඟලුවද?

අනිත් අයියලා නංගිලා වගේම රන්ඩුත් අඩු නම් නෑ අපි දෙන්නගෙ.ඒත් ඇස් රතු වෙන තරම් ඒක දුර ගියෙ එකම එක පාරයි.එදා නම් හති වැටෙනකන් ඇඬුවා,ඒත් දැන් මතක නෑ ඒ ඇයි කියලවත්,ඒත් දවස නම් හොඳටම මතකයි,ජනවාරි 17.ඡන්දයක් තිබුන දවසක් නිසා තමා මතක.සහෝදරයෙකුගෙන් වෙන්වීම කොයිතරම් දුකක්ද දැනුනෙ එදා.
මගෙ පුංචි වෙනසක් උනත් ඔයාට තේරෙනවා අයියේ ඒ තරමට ඔයා මං ගැන හොයනවා.මං ආශ්‍රය කරන අය හැමදේම අයියා හොයනවා.ඒ විතරක් යෑ අයියෙක් ගෙ නීති.නගෝ අර ඇඳුම අඳින්න එපා ඒක කැතයි,මේ ඇඳුමට ලස්සනයි,ගවුමක් අඳින්නකො අනේ එක දවසක්වත්,කොන්ඩෙ දිගට වවන්නකො..හැම අයියා කෙනෙක් වගේම මගෙ අයියගෙත් හීන.


දවසක් මං යාලුවොත් එක්ක පාරෙ යද්දි ඔයා ඇවිත් කතා කලා මතකද?මන් මගෙ යාලුවො දෙන්නට කිව්වෙ මේ මගෙ අයියා කියලා.ඒ වචන ටික හිතෙන්ම කිව්වෙ එක පවුලක නොවුනත් ඔයා මගෙ අයියා.එහෙම කියපු එක පොඩ්ඩක්වත් වැරදි නෑ නේද?

මං නම් මහ වැඩකට නැති නංගියෙක්ලු,ඒ උනාට මං වෙන අයියලා ගැන කියනවට නම් ඊරිසියයිලු.නංගිටත් එහෙමම තමා ඉතින්.මගෙ අයියා මගෙ අයියානෙ.අක්කිට විතරයි දෙන්නෙ.අනිත් අයට බෑ..

වල් පල් කියව කියව මට බැන බැන හිටියත්,රන්ඩු උනත් මන් දන්නවා අයියෙ මං දවසක මනමාලියෙක් වෙලා ඔයාලගෙන් ඈත් වෙන දවසක ඔය ඇස් වල කඳුලු පිරේවි,මට ආශිර්වාද කරද්දි බලාගන්නම්කො මං චණ්ඩියා අඬයිද කියලා,හරි හරී තව ඉතින් කල් තියෙනවා,,

 මට පාර පෙන්නපු මගෙ අයියට ලස්සනම ලස්සන හොඳ ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබෙන්න ඕනේ.ලබන ආත්මෙකදි මගෙම අයියා වෙලා එකම අම්මගෙ කුසේ ඉප දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,ඒක කවදා හරි ඉ‍ටු වේවි නේද?

ඉතින් අයියෙ ගොඩක් කල් ඉඳන් මේ ගැන ලියන්න හිතුවත් ලියාගත්තෙ අද.සමහරවිට මේ සොයුරු බැඳිම කවුරුත් තේරුම් නොගනිවි.ඒත් එක්කෙනෙක් හරි ඉඳීවි.මේක ඔයා කියවපු දවසට මොනා කියයිද කියල මං තාම හිතනවා.:D

Monday, June 20, 2011

හිත සනසපු බුදු වදන්



අපේ පවුලෙ අය එකතු වෙලා පොසොන් එකට පුංචි දන්සැලක් දුන්නා.සිරිත් පරිදි ඒකට සමගාමීව ධර්ම දේශනයක් තියන්නත් ඕනෙනෙ.ඒ නිසා ඊයෙ රෑ ධර්ම දේශනාවකුත් තිබ්බා.අද ඒ ගැන. ඉස්සර මං ආසම නැති වැඩේ තමා බණ අහන්න යන එක..ඒත් දැන් නම් පන්සලකට යන්න,පහන් වැටක් දිහා බලන් ඉන්න බණ අහන්න පුදුම ආසයි.ප්‍රශ්න වලට සහනයක් ගේන්න පුලුවන් බුදුන් වහන්සේ ගෙ ධර්මයටමයි කියලා මට හිතෙන්නෙ මං බෞද්ධ නිසා වෙන්න ඇති.අනිත් ආගම් වල අයත් තමන්ගෙ ශාස්තෲන්ට මේ වගේම ගරු කරනවනෙ..

ධර්ම දේශනාව නම් මං මුල ඉඳන් අගටම ගොඩාක් ආසාවෙන් අහන් හිටියා.හරිම රසවත්.ඒ බණ තුළින් මූලිකවම කියා දුන්නෙ පවුලක් තුල යුතුකම්,සැබෑ ආදරය කියන දේ වගේම ධර්මයෙ හැසිරීමෙන් ලැබෙන ආනිසංශ.මනස ‍රැක ගැනීම ගැනත් කිය උනා.බුදු දහමේ මූලිකම ඉගැන්වීමක් වෙන්නෙ ඒක.ඇත්තටම අපි මනස ‍රැක ගත්තා නම් මේ ලෝකෙ මොන තරම් වෙනස් කරන්න පුලුවන්ද.අපි ඉක්මන් වෙලා ගන්න තීරණ,අනුන්ව තලා පෙලා දාල තමන් උඩට එන්න හදන එක,වැරදි වැටහීම් වගේම අන් සතු දේ තමන් සතු කරගන්න ගන්නා උත්සාහයන්.මට මේ සතිය තුල සිද්ද වුන දේවල් වලින් රිදිලා තිබුන හිත හොඳටම සුවපත් කරගන්න මට හැකි වුණා.

එහි කිය වුණ පුංචි කතාවකුත් කියන්නම්.මේක රසවාහිනියෙ එන මිගපෝතක කියන කතා වස්තුවේ සාරාංශයක්.ඒ කාලෙ කිරින්දට අල්ලපු ගම මාගම තිබුණලු උඳුලොල් කියලා විහාරයක්.ඒ විහාරයේ ළඟම ජීවත් වුණ වැද්දෙක් හිටියලු.එහෙම සමහරු ඉන්නවනෙ.කොයිතරම් හොඳ තැනක හිටියත් කරන්නෙම නරක වැඩ.ඉතින් පන්සලක් ගාව පිනක් දහමක් නොහිතන අය ඉන්න එක පුදුමයක් නෙමේ,බුදු හාමුදුරුවන් වැඩ වසන කාලෙ චුන්දසුකරික මස් වෙළදාම් කලේ ඡේතවන විහාරය අබියසමලු.ඉතින් මේක පුදුම වෙන්න දෙයක් නෙමෙ.දැනුත් බලන්න අපි කොච්චර හොඳ උනත් අපි අතරෙත් වැද්දො වගේ අය ඉන්නවා නේද කියලා?,

ඉතින් මේ පන්සලේම ඉන්නවලු පුංචි මුව පැටියෙකුත්.දැන් කාලෙ වගේ නෙමෙ ඉස්සර කාලෙ පන්සලේ හැමදාම බණ කිව්වනෙ.(අරිය වංශ දේශනාව නමින් හැඳින් වුනාලු),ඉතින් හවසට හැමදාම ගමේ අය එනවා බණ අහන්න.මේ දවසත් එහෙමයි.මේ පුංචි මුව පැටිය වතුර බොන්න කියලා පොකුණ ගාවට යනවා ධර්ම දේශනාව ආරම්භ වෙන්න ටිකක් කලියෙන්.ඒ මුව පැටියව දර වැද්දා දකිනවා.දැකලා දඩයම් කරගන්න හිතල දුනු ඊ ඒ පුංචි මුව පැටියට එල්ල කරනවා.එකෙනෙහිම ධර්ම දේශනාව ආරම්භ වෙන්න ඝාන්ටාරය නාද වෙනවා.මුව පැටියා පන්සලේ හැදී වැඩුන හින්දම මේ ශබ්දය අඳුනනවා.ඉතින් මුව පැටියගෙ හිත පිරිසිදු වෙලා සැදැහැවත් සිතිවිලි පහල වෙනවා.ඒ වෙලේම වැද්දා ඊයක් විදලා මුව පැටියව මරණයට පත් කරනවා.ඒත් ඒ ඇති වුණ හොඳ සිතිවිලි වල බලෙන් මුව පැටියා පංසලේ ලොකු හාමුදුරුවන්ගේ නැගණියගේ කුසේ පිලිසිඳ ගන්නවා.එයින් පස්සෙ අවුරුදු 7 දි පන්සලේ පැවිදි වෙලා අරහත් ඵලය ලබා ගන්නවා.ඉතින් හොඳ සිතිවිල්ලකට කරන්න පුලුවන් දේ කොයිතරම් ද බලන්න.

හැමෝම තමන්ගෙ හිත් පිරිසිදු කරගෙන හොඳ දේවල්ම කරන්න උත්සහ ගන්නවා නම් මං මේ දේ තුලින් දෙන්න උත්සහ කරපු දේ ඉ‍ටු වේවි.අපි අතරේ ඉන්න නරක අයත් හොඳ මගට ගන්න පුලුවන් වෙනවා නම් තවත් හොඳයි.ඉතින් මේ බුද්ධ ජයන්ති වසරේ හැමෝම තමන්ගෙ උත්සාහයෙන් හොඳ දෙයක් කරලා මේ ලෝකය තවත් ලස්සන කරන්න අත්වැල් බැඳගමු නේද?.

Sunday, June 19, 2011

සින්දුවක් ගැන

මේ දවස් වල ආසාවෙන් අහන සින්දුවක් දෙන්න හිතුනා.මගෙ හිතට නම් ගොඩාක් දැනුණ සින්දුවක් ඒත් ඉතින් ඔයාලට කොහොමද දන්නැහැ.ඒ වගේම ගොඩ දෙනෙක් අහලත් ඇති මේ සින්දුව.A walk to remember ‍ෆිල්ම් එකේ එන only hope.සින්දුව වගේම පොතය් ‍ෆිල්ම් එකයි දෙකම ගොඩාක් ලස්සනයි.:) ඔන්න එහෙනම් සින්දුව.අහලා බලන්නකො


 There's a song that's inside of my soul.
It's the one that I've tried to write over and over again
I'm awake in the infinite cold
But you sing to me over and over and over again
(Lyrics Mandy Moore Only Hope on http://ezone4u.blogspot.com)

So I lay my head back down
and I lift my hands and pray
to be only yours
I pray to be only yours
I know now you're my only hope

Sing to me the song of the stars.
Of your galaxy dancing and laughing and laughing again
When it feels like my dreams are so far
Sing to me of the plans that you have for me over again

So I lay my head back down,
and I lift my hands and pray
to be only yours
I pray to be only yours
I know now you're my only hope

I give you my destiny
I'm giving you all of me
I want your symphony
Singing in all that I am
At the top of my lungs
I'm giving it back

So I lay my head back down,
and I lift my hands and pray
to be only yours I pray
to be only yours I pray
to be only yours
I know now you're my only hope

Friday, June 17, 2011

ආයෙත් ඉස්කෝලේ...



කඩේ හාමිනේ ටත් ඉස්කෝලෙ පටන් ගත්තනෙ.ඉතිං දැන් නම් ඉස්සර වගේ පැය ගණන් මූණු පොත අස්සෙ ඉන්නයි බ්ලොග් ලියන්නයි බෑ.2013 උ.පෙ කරන නිසා වැඩ ගොඩයි.පලවැනි පාරම ගොඩ දාගන්න කියලයි හිතුවෙ.ආයෙ දුක් විඳින්න බෑ.ඉතින් අනිත් වැඩ පොඩ්ඩක් නවත්තලා ඉගෙනීම කරන්න තමා මගේ හිතේ තියෙන්නෙ.ඒ උනාට අතරින් පතර ඉඳල හිටලා බ්ලොග් එකත් ලියනවා.මොකද මාව සින්ඩිවලින් පැන්නුවොත් එහෙම නොලියා ඉඳලා.. :) ඉතින් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.ඒ වගේම මාව අමතක කරන්නත් එපා හො‍ඳෙ :D වැඩ ඔක්කොම සමබරව කරගෙන ගිහින් හොඳ තැනකට එන්න ඕනෙ.ඒ වගෙම මගෙ වයසෙ අනිත් සහෝදරයන්ටත් සුබ පතනවා.(සහෝදරියො නම් නැද්ද මන්දා.ඉන්නවා නම් එයාලටත් එක්ක කිව්වෙ.තරහ වෙන්න එපෝ.හැබැයි ඉස්කෝලෙ පටන් ගත්ත එක නම් හරිම හොඳයි.ගෙදරට වෙලා කකා බිබී නිදා ගන්නවට වඩා කොච්චර හොඳද ඉස්කෝලෙ.ඉගෙන ගද්දි නම් හරිම කම්මලි තමා.ඒ උනාට පිස්සු නටන්න හොර වැඩ කරන්න හැමදේටමත් අපට තියෙන්නෙ ඉස්කෝලෙ නෙ.ඒ නිසා තමා මං මේ තරම් ආස.ඉතින් ආයෙ හමුවෙමු.සමාව ඉල්ලනයි මේ ලිපිය ලිව්වෙ.