Showing posts with label තාත්තා. Show all posts
Showing posts with label තාත්තා. Show all posts

Tuesday, August 23, 2011

මවක හා දියණියක දු‍ටුවෙමි!

අම්මා කෙනෙකු දරුවෙකු වදන්නේ දහ දුක් විඳගෙනය..එසේ වැදූ දරු පැටියා දියණියක ලෙසින් පෝෂණය කර ‍රැක බලා ගැනීම කොයිතරම් අසීරු කරුණක් දැයි තේරුම් ගත හැකි වනු ඇත්තේ ඒ දුක විඳි දිනකමය.කෙල්ලෙක් යනු ශ්‍රී ලාංකික සමාජය තුල ඇහැකටත් වඩා ප්‍රවේශමෙන් බලා ගන්නට ඇවැසි තැනැත්තියකි.කොල්ලෙකු මෙන් නොව කෙල්ලෙකුට සමාජය තුල ලැබෙන දෑ සීමිතය.

නිදහස?සීමිතයි.

‍රැකියා?සීමිතයි.

පිරිමින්ගෙ දහසකුත් බැලුම්?අසීමිතයි.

පුංචි වරදටත් ගැරහුම්?අසීමිතයි..

ඉතිං දියණියක ‍රැක බලා ගැනීම අසීරු යැයි කීම පිළිබඳ තව කවර කතාද?එසේ දුක් මහන්සියෙන් බලාගත් දියණියගේ සිතට ආදරයක් ඇතුලු වීම?අන්ධ ආදරය.ආදරයක් සිතට ආ දා පටන් මෙතුවක් කල් සිතේ තිබුණු සියලු ප්‍රතිපත්තීන්ගේ අවසානය..ආදරය පිළිබඳ අත් දැකීම් ඇත්තවුන් ඒ ගැන දන්නවා ඇති ආදරයක බලගතු කම..

"කෙල්ලෙක්ට පළවැනි ආදරේ තමංගේ ජීවිතේ වෙනවා."උසස් පෙළ ගුරු පියෙකුගෙන් ඇසූ කරුණක්.පළවැනි ආදරය හමුවේ වැදූ මවත් හැදූ පියාත් දෙවනි කොට ලෑම සාධාරණ නොවේ..අන්ධ ආදරය ඒ බව සඟවයි.හරි අපූරුවට..වැ‍රැද්ද හරි යැයි සාධනය කර පෙන්නන ලස්සන.

ජීවිතයේ පලවැනි වතාවට මගේ මිතුරියක පිළිබඳ මම කලකිරුණෙමි..පන්ති ආවා යැයි කියා නුඹේ අලුත් පැතුම් එක්ක නිදහස හොයාගෙන ගියාට මං තරහ නෑ.නුඹේ ජීවිතයට අලුතෙන් ඇතුල් වූ උරුමක්කාරයාගෙ ජයග්‍රහණයකට සවියක් වනු පිණිස ගියාට මං තරහ නෑ..ඒ වුණත් නුඹේ අහිංසක අම්මා හමුවේ අසනීපයැයි කියා හිත තුල ගිනි පත්තු කිරීම?උඹට පව් කෙල්ලෙ...පන්ති කට් කරගෙන කොහෙවත් යන්න එපා කිය කිය උඹ ඉස්සරහ අපි වැඳ වැ‍ටුනේ නැති ටික විතරයි,ඒත් ආදරය හමුවේ නුඹත් අසරණයි..ඒ නිසා මං බනින්නැහැ නුඹට.ඒ වුණත් ආයෙමත් ඔය මූණ දිහා බලලා කතා කරද්දි අහිංසක අම්මගෙ හිතට දුන්න ගින්දර මතක් වෙලා මාව පිච්චෙයි.මගෙ අම්මටම වගේ මං ආදරය කරපු නුඹේ අම්මා නිසා..පන්ති ඇරෙන්නටත් මත්තෙන් පන්තිය ගාවට ආව නුඹට කරකියා ගන්න දෙයක් නැති නිසා අම්මට කතා කරලා අම්මෙ මට සනීප නෑ මාව එක්ක යන්න එන්න මං පන්තියෙන් එලියට ආවායි නුඹ තෙපලන්නට ඇති.හිතේ ඇවිලුණ ගින්දරත් එක්ක තකහනියක් දුවගෙන ආපු අම්මගෙ යන්තම් පටලවගත්ත ඇඳි වත දැක්කම නුඹට දුකක් දැනුනෙ නැද්ද කෙල්ලෙ අම්මට බොරුවක් කරපු එක ගැන.?අම්මා එක්ක යන්න නුඹ පය ඔසවද්දි අපි පන්ති ඇරිලා හිමින් හිමින් එලියට එනවා.කිසිවක් නොවුණු ගාණට අම්මත් එක්ක අඩි තිය තිය යන නුඹව දැක්කම ඇති වුණ හැඟීම තරහකට වඩා අනුකම්පාවක් වුණා.

ඒ එක්කම මං එනකන් බලන් ඉන්න මගෙ අම්මා දැක්කම ඒ අනුකම්පාවත් එක්ක හිත යටින් ගලාගෙන ඇස් මත්තට නැගුණු කඳුලු පේන මානය බොඳ කලා..නුඹ ගැන කලකිරුණත් මං අද ජීවිතේ පළවැනි වතාවට මං ගැන ආඩම්බර වුණා.වැදූ අම්මාට මේ තරම් බොරුවක් නොකිරීම ගැන.මට සමාවෙන්න අම්මේ මං කලේ එකම එක වැ‍රැද්දයි,ඒත් ඒ වැ‍රැද්දෙ විපාක අදටත් පස්සෙන් පන්න පන්න මගෙ හිතට වද දෙනවා.ඒත් මං ජීවිතේ ගැන තේරුම් ගත්තා අම්මෙ මගේ වයසට මං අනිත් අයට ඉස්සරහින්..

නුඹ මට සමාජෙට විවර කරලා දුන්න පාර දිගේ මුලින් ඔහේ ඉබාගාතෙ ඇවිදන් ගිහින් අන්තිමට හෙම්බත් වුණ මං මොහොතක් නැවතිලා ආයෙමත් හැරිල වැරදුන තැන් දිහා බැලුවා.ඒ වැරදි හදාගෙන මං ඉස්සරහට ගියා අම්මෙ.මගේ මිතුරියටත් සමාජය ගැන හරිහැටි තේරුම් ගන්න ඉඩක් ලැබුණා නම් සමාජයේ හොඳ නරක මිනිසුන් තේරුම් ගන්න මිනිසුන් ආශ්‍රය කරන්න ඉඩ ලැබුණා නම්?අද දවස මීට වෙනස් වේවි.
.
ආඩම්බරයි මගෙ රත්තරන් අම්මේ නුඹ මට ජීවිතය රෝස මල් යහනක් නොකියා ගෙන්දගම් පොළවෙ හරියට ජීවත් වෙන්න කියා දීම හා ඊට ඉඩ දීම ගැන..