Sunday, August 21, 2011

සරුංගලේ..

අගෝස්තු නිවාඩුවත් ආවා.පාඩම් කරන්න කිය කිය අම්මා දෙස් දෙවොල් තියද්දිත් හිත දුවන්නෙ සරුංගල් අරින්න යන්නමයි.සරුංගලයක් නම් හදාගන්න පුලුවනි..ඒත් අලවන්න සව්කොල?තාත්තා නැති දුක තේරෙන්නෙ ඔය වෙලාවට.අම්මා මහන්සියෙන් කිරි කපලා හොයන සල්ලි මාසෙ පිරිමහගන්නත් මදි,ඔට්ටපාලු ටිකක් ගලවන් ඇවිත් විකුණන්න තිබුනා නම්..ඒත් කොහෙද වත්තෙ මහත්තයා ඒ ටිකටත් පෙරේතයි..සති ගාණකට කලින් හදා ගත්ත මොණරා දිලිහි දිලිහි ඉන්නවා දොර මුල්ලෙ..ඒත් අලවන්න සව්කොල?අඩුම තරමෙ පත්තර කෑල්ලක්වත් නැති හැටි.දැන දැන වුණත් අම්මට දුක කියන්න පටන් ගත්තෙ හිත උණු වෙලාවත් රු.10ක් දේවි කියලා,,ඒත් අම්මගෙ හිත යකඩ වගේ,ජීවිතෙත් එක්ක ඔට්‍ටු වෙලාම අම්මගෙ හිත හයියයි.ඉතින් රු.10ක් ඉල්ලගන්න එක හීනයක්ම තමයි.

"පුතේ හොඳ කොල්ලා වගේ ගිහින් රු.30ක විතර භූමිතෙල් ටිකක් අරන් වරෙන්.කඩේට කියපන් පොතට දාන්න කියලා."

"අම්මේ අනිත් කොල්ලො හැමෝටම සරුංගල් තියෙනවා.මගෙ සරුංගලෙත් අලවගන්න සව්කොල ගන්න කීයක් හරි?"

"විකාර නොකර ගෙදෙට්ට වෙලා පොතක් පතක් බලාගනින් කොල්ලො ඉගෙන ගත්තොත් උඹට සව්කොල නෙමෙ ඉටි කොල වුණත් ගත්තැහැකි"

හැමදාම ඉතිං ඔය බණේ තමා..මං හිතේ තියෙන තරහටත් එක්ක වරිච්චි බිත්තියට පාරක් ගහගෙනම එලියට බැස්සා..

"වැස්සට තෙත් වෙලා තිබුණ හින්දද කොහෙද පස් හෝ ගාල බිමට වැ‍ටුණා..

"ඒ ගමන උඹ ගේත් සමතලා කරන්නද කල්පනාව.හැබෑටම උඹට මං මේ විඳින දුක තේරුම් ගන්න බැරි හැටි..
අම්ම්ගෙ ඇස් වල කඳුලු දිලිහෙනවා.ඒත් ඒ කඳුලු කවමදාකවත් බිමට වැටෙන්නැහැ..හැමදාම ඇහැ යට නලියනවා විතරයි..කඳුලු වලට මේ දුප්පත්කම නැති කරන්න බැරි බව දන්න නිසා වෙන්නැති..මෙච්චර කාලෙකට අම්මා අඬනවා දැක්කෙ තාත්තගෙ මළගම දා විතරයි..

අම්මගෙ කන්දොස්කිරියාව අහනවට වඩා හොඳයි කඩේ පැත්තෙ යන එක.කොල්ලො දාම් අදිනවත් බලාන ඉන්ට පුලුවන්.ඒ උනාට මාව කවදාවත් දාම් අදින්න එක්කගෙන නෑ.එතන ඉන්නෙ ලොකු පෝරිසාදයොලු.

කඩේට ගිහින් භූමිතෙල් අරන් එන අතරමග තණකොල බිස්සෙ රු.10ක් වැටිලා තියෙනවා දැක්කෙ.මං රු.10 අතට ගනිද්දි අත වෙව්ලුවා.මොකක්දෝ වේදනාවක් ඇඟ පුරා දිව්වා.විදුලියක් වගෙ.අයිතිකාරයෙක් නැති දේ ගන්න හොඳ නෑ.ඒත් මේකට අයිතිකාරයෙක් ඉඳිද?එයා ආයෙ මේක ගන්න මෙතනට එයිද?මම රු.10 අතේ ගුලි කරගත්තා.වට පිට බලන්නෙ නැතුවම ගෙදර දිව්වා..

"මොකද කොල්ලො බය වෙලා වගෙ?මෙච්චර පරක්කු වුණේ ඇයි.ගේ හරියෙ එලියක් නෑ උඹ භූමිතෙල් ටික අරන් එනකම්.ලාම්පු පත්තු කරන්න පුලුවන් එකක් යෑ.මෙහෙ දියන්.යකෙක් වැහිලා වගෙ ඇස් ගෙඩි ලොකු කරන් බලන් ඉන්නෙ නැතුව."

පහුවැනිදා වෙනකම් මගෙ හිතට පුදුම හදිස්සියක් තිබුණෙ.කුකුලො අඬන්නත් කලියෙන් මං නැගිට්ටා,කඩේ ඇරිය ගමන්ම ගිහින් සව්කොල ගන්න ඕනෙ.කෝක කරන්නත් අම්මා යනකන් ඉන්න එපෑයේ.අම්ම ඇහුවොත් කොයින්ද මේ සව්කොල කියලා මං කියනවා සමීරගෙන් ඉල්ල ගත්තා කියලා.

අම්මා කිරි කපන්න ගිය ගමන්ම මං දිව්වෙ කඩේට.
.
.සුදු පාටයි නිල්පාටයි..කොල පාටයි රෝස පාටයි.එක එක පාට...
"මුදලාලි මට රු.10ක සව්කොල.?"

"පොතටද?"

"නෑ සල්ලි වලට"

මුදලාලි කණ්ණාඩි දෙකට යටින් මං දිහා බැලුවා.හරියට කවදාවත් දැකලා නෑ වගෙ..මං මූණ දෙන්න බැරි කමටම ගුලි කරන් හිටපු රු.10 බිම බලාගෙනම මුදලාලිට දීලා සව්කොල ටික ඉල්ල ගෙන රූං කුරුල්ලා වගේ ගෙදර දිව්වා..රොටී හදන්න තියෙන්න පිටි වලින් ඩිංගිත්තක් හොරෙන් අරගෙන පාප්ප හදාගෙන සරුංගලේ අතට ගත්තා.සුදු පාටින් මුලු සරුංගලේම අලවලා රතු පාටින් ඉරි තිබ්බා.තැඹිලි පාටින් ‍රැල් දැම්මා.හරිම ලස්සනයි..ගේත් එලිය වුණා වගේ හිතුණා මට..

අම්මා ආව ගමන්ම මං අම්මට පෙන්නුවෙ මගෙ සරුංගලේ..අම්මට කිව්වෙ සමීරගෙන් සව්කොල ඉල්ල ගත්තයි කියලා.බොරු කියන්න දුකත් හිතුණා.ඒත් අම්ම බැන්නොත් කියලා බය හිතුණා..මට රෑ වෙනකන් නින්ද ගියෙත් නෑ.පොතක් අතට ගත්තෙ නින්ද යන්නැති හින්දමයි.කෝකටත් කියලා සරුංගලෙත් ළඟින්ම තියා ගත්ත මං කුප්පි ලාම්පුවත් පත්තු කරගෙන පොත දිග ඇර ගත්තා.පොත බලද්දිත් මට මැවි මැවි පෙණුනෙ සරුංගලේ අරින හැටි..මං වෙලට ගෙනිච්චම අනිත් අය වට වෙලා බලන හැටි අහසෙ පාවි පාවි තියෙන හැටි.හිතුනොත් මං සරුංගලේ රෑ තියනවා.උදේම ගිහින් බාන්න බැරියෑ..ඒත් එකපාරටම මොකක්දෝ වැටෙන සද්දෙත් එක්ක මං ගැස්සුණා.පූසා මේසෙට ඇවිත් පුරු පුරු ගානවා.කුප්පි ලාම්පුව බිමට පෙරලිලා..සරුංගලේ ‍රැල් යාන්තමට ගිනි අරං...මං අතින් ගගහා නිවන්න හැදුවත් ගින්න තවත් වැඩි වුණා..පිළිකන්නෙ තිබුන වතුර කලේ අරන් ඇවිත් මං ගින්න නිවද්දිත් සරුංගලේ පිච්චිලා බාගෙට.වතුර පාර වැදුන ගමන් සව්කොල ඔක්කොම දිය වෙලා ගියා..අනේ මගෙ සරුංගලේ..සව්කොල වගේම දියවෙලා ගිය මගේ හීනෙ..බාගෙට පිච්චිලා සව්කොල දිය වෙලා ගිය සරුංගලේ අතට ගත්තම හිතට දැණුන මහ දුකත් එක්ක කඳුලු සට සට ගාල බිමට වැ‍ටුණා.

අනේ හැම ප්‍රශ්නයක්ම උහුලන,කඳුලු නොවැටෙන මගේ අම්මගෙ හිත වගේ මගෙ හිතත් හයිය වුණා නම්?




11 comments:

  1. කාලෙත් එක්ක හිත් හයිය වෙනවා

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... හැමදේම අනිත්‍යයි ලු නේ... :( කොච්චර අස කළත් දවසක නැති වෙනවා...
    ලස්සනට ලියල තියනවා නංගි...:)

    @රත්ගමයා- කාලෙත් එක්ක හිත් හයිය වෙනවා?? ශා එහෙමනම් නියමයි.. මාත් කැමතියි එහෙම වෙනවානම්..

    ReplyDelete
  3. ලස්සන ලියවිල්ලක්.
    මාත් මේ නිවාඩුවට සරුංගලයක් හැදුවා.

    ReplyDelete
  4. @ගීතික අය්යා-හ්ම්.......

    @රත්ගමයා අය්යා එහෙම වෙන්න ඕනේ.පුංචි කාලේ වගේ හැමදේටම ලොකු වුනාම අඩන්න බැනේ

    ReplyDelete
  5. @හිතුවක්කාරී අක්කා-ස්තුතියි මේ පැත්තේ ආවට.කොයි තරම් ආස කලත් හැමදේම ටික කාලයයි

    මධුරංග අය්යා-ස්තුතියි හැමදාම වගේ එනවට.මටත් සරුංගලයක් හදා දෙන්නකෝ

    ReplyDelete
  6. @මංචි අක්ක-අප්පේ අක්කව දැක්ක කල්..ස්තුතියි ආවට

    ReplyDelete
  7. අනේ හැම ප්‍රශ්නයක්ම උහුලන,කඳුලු නොවැටෙන මගේ අම්මගෙ හිත වගේ මගෙ හිතත් හයිය වුණා නම්?
    මෙන්න මේක තමයි ඇත්ත ..

    ReplyDelete
  8. අපරාදෙ සවු කොල ගන්නෙ නැතුව තෙල් කොල ගත්තනම් වැඩේ ඉවරයිනෙහ්.. භාගයක් පිච්චුනත් මොකො ඉතුරු භාගෙ හරි වතුරට මුකුත් නොවී තියෙනවනේ...

    ReplyDelete
  9. "විකාර නොකර ගෙදෙට්ට වෙලා පොතක් පතක් බලාගනින් කොල්ලො ඉගෙන ගත්තොත් උඹට සව්කොල නෙමෙ ඉටි කොල වුණත් ගත්තැහැකි"

    ....බලාපොරොත්තු!!

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්