Monday, August 22, 2011

සමාජ සම්මතයෙන් ඔබ්බට?



මගෙ හොඳම යාලුවා,"පිරිමි" ළමයෙක්.කෙල්ල-විරුද්ධ වචනෙ කොල්ලා..කෙල්ලෙක්ගේ හොඳම යාලුවා "කොල්ලෙකු" වීම යනු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වීමට සිදු විය හැකි බරපතල වරදක්ද?සමාජ සම්මතයට පිටින් නැගී සිටි මා චූදිතයෙක් වූ අපූරුව..

වරද පිරිමි ළමෙයෙකු හොඳම යහලුවා ලෙස තබා ගැනීම..
දඬුවම-කවදා හෝ දිනක සමාජය තුල නරක කෙල්ලෙකු ලෙස හංවඩු ගැසීම විය හැකිය.(තවම එසේ නොවීම පිළිබඳව මගේ සිතේ ඇත්තෙ පුදුමයකි..)

"ම්ම් අනූ *** ඔයාගෙ හොඳම යාලුවා නේද?"(ගොනා හැරෙන්නෙ පොල් පැලෙ කන්න ආයෙ අහන්න දෙයක් නෑ..ඉල්ලගෙන කෑමට සමාන පදයක් කොල්ලෙකු හොඳම මිතුරා ලෙස තබා ගැනීම)

"හ්ම්ම්...ඇයි?"

"නෑ නිකන් හැමෝම හිතං ඉන්නෙ ඔය දෙන්නා යාලුයි කියලා.."

"උන්ට පිස්සු.." තව තව දේ සිතට එයි.ම මිතුරියගෙ සිත රිදවන්නට නොහැකිය.

"ඒ වුණාට අනූ එහෙම හරි නැහැ නේද?ඔය දෙන්නගෙ යාලු කම?"

"ඇයි ඒකෙ මොකක්ද වැ‍රැද්ද?"

"නෑ ඉතින් එයා කොල්ලෙක් ඔයා කෙල්ලෙක්..අනික එකම වයසෙ.ඉතින් මේ කෙල්ලො එක එක ඒව කියනවා දන්නෙ නැද්ද?"

"හ්ම්ම්.." අනේ ඉතිං බෝපැල නෙ ඒ කෙල්ලො.සිතට එන හැඟිම් මං පාලනය කරමි.දෙවියන්ට ස්තූති වන්නට මගේ කට බ්‍රේක් නැති කටක් නොවේ...

ඉන් එහාට අපේ සංවාදය වෙනතකට යොමු විය..

නමුත් කෙල්ලෙකු හා කොල්ලෙකු මිතුරන් වීම වරදක් ද?මා වැරදිද?කියාගන්නට බැරි කුමක්දෝ හැඟීමක් හිත පෙලයි..වරදක් යැයි ඇඟිල්ල දිගු කරන අය කිසිම දිනක මිතුරන් ලෙස විරුද්ධ පාර්ශවයේ කෙනෙක් තබා ගෙන සිටිය අයෙක් නොවන්නට ඇත්ද?නැති නම් මා තරම් වාසනාවන්තියක් වීමට ඔවුන්ට නොලැබීම නිසා ඇති කරගත් ඊර්ශ්‍යාවක්ද?හඬන සිත සනසවන්නට ඉරිසියාවක් නැතිව උත්සහ කලේත් මා වෙනුවෙන් මුලු හිතින්ම දුක් වන්නේත් මගේ මිතුරාම පමණි..ඒ අහිංසක මිතු දම "උඩින් මිතුරු යටින් හතුරු" නැත

"මොකාව රවට්ටන්න හැදුවත් මං ඔයාව රවට්ටන්න හිතල නෑ අනූ.එහෙම හිතෙන එකකුත් නෑ..ඔයා මාව ‍රැවැට්‍ටුවත් කමක් නෑ මාව ඔයාගෙ හොඳම යාලුවා පොස්ට් එකෙන් නම් අයින් කරන්නෙ එහෙම නෑ"(දෙයියනේ මේ බ්ලොග් පෝස්ට් එක නම් මෙයාට පෙන්නන්න එපා.මාව කයි..)

මෙවන් මිතුදමක මහිමය තේරුම් ගන්නට අත්දැකීම් අවැසි වනු ඇත.නමුත් හණමිටි අදහස් හිසේ තබා ගෙන සිටින සමහරුන් තවමත් විශ්වාස කරන පරිදි කෙල්ලෙකුට සිටිය යුත්තෙ මිතුරියන් පමණක්ය.කොල්ලෙකුට සිටිය යුත්තේ මිතුරන් පමණක්මය..ටිකින් ටික උස් මහත් වන දරුවන් විරුද්ධ පාර්ශවය හා ගැටීම වලක්වන්නට සමාජය උත්සහ කිරීමේ ප්‍රතිඵලය තවමත් නොදැක්කා සිටීම පුදුමයකි.දකින දකින කෙල්ලට කොල්ලන් ආදරය කරන්නට යන්නෙත් දකින දකින් කොල්ලාට කෙල්ලන් ආදරය කරන්න යන්නේත් දෙපාර්ශවයම හරි හැටි අවබෝධයක් නොමැති නිසා නොවෙද?එලිපිට කතා නොකරන මේ ප්‍රශ්නෙන් දුර දිග ගිය දුක්ඛිත කතා රට හැමතැනම.මිනිසුන් හරි හැටි වටහා ගන්නට නොහැකි වීම නිසා කී දෙනෙක් නම් අද අසරණ වී ඇත්ද?"මලක්" ලෙස හැදූ දරුවෙකු ලෝකයේ අනෙක් මිනිසුන් දකින්නේද එකම එක දෘශ්ටි කෝණයකිනි.සියලුම පිරිමි තම තාත්තා මෙන් හොඳ යැයි සිතීමත් සියලුම ගැහැණුන් තම අම්මා සේ හොඳ යැයි සිතා ජීවිතය කාලකණ්නි කරගත් සමාජය නොහඳුනන දරුවන් මෙ රට මෙපණයැයි කිව නොහැක.

එදා මෙන්ම අදත් අපේ රටේ හණමිටි අදහස් තුළින් සමාජය පවතියි...එදා සමාජයට ගැලපුණ සමහර දෑ අද සමාජය හා පෑහෙන්නේ නැත..සියල්ල නොගැලපේ යැයි මම නොකියමි..එසේ පෑහෙන්නේ නම් කුඩා කල අප භාවිතා කල ඇඳුම් තවමත් අපට ගැලපෙන්නට ඇවැසිය,ඉදින් ඒ බව දැන දැනත් හෙටත් එය එසේම සිදු වන්නට හැරීම?

ඉතින් මේ ඇවිත් ඇත්තේ වෙනස් වන්නට කාලය නොවෙද?නැති නම් මා දරන මතය වැරදිද?කෙල්ලන්ට සිටිය යුත්තෙ මිතුරියන්ම පමණක්ද?කොල්ලන්ට සිටිය යුත්තෙ මිතුරන් පමණක්මද?ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු හොඳම මිතුරන් වීම සහ ගහන අපරාධයක්ද?

12 comments:

  1. කිසිම වරදක් නෑ, ඇත්තටම හරි නම් වෙන්න ඕනේ එහෙම තමයි, මොකද කොල්ලේ හෝ කෙල්ලෝ හෝ සෙට් උනාම තමයි ඔය අජූත වැඩ ඔක්කොම කරන්නේ :D

    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමාජයේ සහ සංස්කෲතියෙ, අපි ගෑනු ලමෙක් එක්ක කතා කර කර බස් එකක ගියොත් වටේ ඉන්න අම්මංඩිලා අපි දිහා බලන්නේ නිකන් කෙල්ලව ගෙදරින් පන්නගෙන යනවා වගේ බැල්මකින්.

    මේ හනමිටි අදහස් කවදා ඉවත් කල හැකි වෙයිද ?

    ReplyDelete
  2. අපෝ ඕකෙ කිසිම වරදක් නෑ... පිටින් බලන් ඉන්න මිනිස්සුන්ට මොනව කියන්න බැරිද?... ඕව ගනන් ගතයුතු නෑ...

    කාලෙකට කලින් සාතන්ගෙත් හොඳම යාළුව වුනේ කෙල්ලෙක්... ඒවගේම ඒ කෙල්ලගෙ හොඳම යාළුව වුනෙත් සාතන්ම තමයි...

    ඔය වගේ යාළු කමක් කොල්ලෙක්ට ලොකු ප්‍රශ්නයක් වෙනව.... ඔය යාළු කම දුරදිග ගිහින් යාළුවො දෙන්න ප්‍රේමවන්තයො වුනොත් කේස් එකක් නෑ... එහෙම නැතුව කෙල්ල වෙනත් කොල්ලෙක් එක්ක සෙට් වුනොත් කලින් වගේ තමන්ගෙ යාළුව ආශ්‍රය කරන්න ලැබෙන්නෙ නෑ... කෙල්ලෙක්ට ඕක ප්‍රශ්නයක් නෑ... මොකද කෙල්ලන්‍ට තමන් ආදරේ කරන කෙනාට වඩා දෙයක් වැදගත් නැති හින්ද... ඒත් කොල්ලෙක්ට ආදරේ තරමටම තමන්ගෙ යාළුවොත් ගොඩක් වැදගත්...

    කඩේ හාමිනේ මේ කියන එක පිළිගන්න එකක් නෑ... කොයිතරම් කිව්වත් සාතන්ගෙ යාළුවත් ඕක පිළිගත්තෙත් නෑ... ඒත් දැන් නම් සාතන්ගෙ යාළුවත් අත්දැකීමෙන්ම ඕක දන්නව මම හිතන්නෙ... තවමත් යාළුවො වුනත් ඉස්සර තිබුන බැඳීම මේ වෙද්දි අඩුවෙලා.. :)

    ReplyDelete
  3. @සාතන් අයියා-නෑ අයියා මං පිළිගන්නවා..මං ඔයාට හිස නමනවා.ඔයත් මං විදිහට හිතනවා අයියා මටත් ගොඩක් වටිනවා මගේ යාලුවව.

    @උදිත් අයියා-අපෙන් එහා අයවත් ඒ විදිහට දකීවි අයියා

    ReplyDelete
  4. සියල්ලන්ගේම සිත් සෑදීමට අපි නොදනිමු. නමුදු දෙයක් ඇත. එය සත්‍යයකි. කිම් ද? තමන්ගේ සිතයි. විශ්වාසයයි. කියූ දේ වැටහෙන්නට ඇත. කෙටිම හා සාධාරණම පිළිතුර එයයි. නානාවිධ අදහස් දරන්නවුන්ට නැවත ළමාකාලයට විත් කළ කී දෑ මතක් කරගැනීම යෙහෙකි.
    -කිසිත් නොදත් ආගන්තුකයා

    ReplyDelete
  5. මගේ සමීපම යාලුවෝ බහුතරයක් පිරිමි ළමයි. ඒ කියන්නේ ගැණු ළමයි එක්ක යාලු නැහැ කියල නෙවෙයි. ලඟින්ම ඉන්න යාලුවෝ සෙට් එකේ බහුතරේ පිරිමි ළමයි කියන එකයි.
    ඉතින් මටත් ඔය බහු බුත අහල හොඳට පුරුදුයි. යාලුවෙක් එක්ක එකට ගමනක් ගියොත් වටේ පිටේ අයට තියෙන්නේ පුදුම අමාරුවක්. සමහර වෙලාවට මම ඒ යාලුවා ගේ පෙම්වතිය ඔය කව්රු හරි කියන කතාවක් අහල අප්සෙට් යාවි කියල ඕන කමින් එයා එක්ක තනිව ගමන් යන එක නවත්තල තියේ. ඔය වගේ කතා තවත් ළඟ යාලුවෝ හරි ගෙදරින් හරි කිව්වාම නම් ගොඩක් හිත රිදෙනවා. එහෙම මම තනියම අඬපු දවස් ගොඩක් ඇති.
    මිනිස්සුන්ගේ කතා වලට බයේ ජීවත් වෙන්න බැරි බව ඇත්තයි. ඒත් හිත රිදෙන එක වලක්වන්න බැහැ. වෙලාවකට මිනිස්සු මෙච්චර නපුරු ඇයි කියල හිතෙනවා.

    @සාතන්
    ඔව් ඔයා කියන එක මම දැකල තියෙනවා. මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. කෙල්ලෙකුයි කොල්ලෙකුයි. දෙන්න හොඳම යාලුවෝ. කෑවේ බීවේ ගමන් ගියේ එකට. පස්සේ කෙල්ල සෙට් උනා (වෙන කොල්ලෙක් එක්ක). කසාදත් බැන්දා. ඉතින් කෙල්ලට වෙනද වගේ යාළුවාව ආශ්‍රය කරන්න බැරි උනා. කොල්ලට ඒක දරා ගන්න බැරි උනා. එයාට දැනුනේ තමන්ගේ හොඳම යාලුවා තමන්ව දාල ගියා කියල. කෙල්ලට හස්බන්ඩ් ඉන්න නිසා යාලුවාගේ පාළුව, තනිකම දැනුනේ නැහැ. සාතන් කිව්වා වගේ කෙල්ලෙක්ට තමන්ගේ පෙම්වතා/ සැමියා ඉදිරියේ අනිත් අය අමතක වෙනවා. කොල්ලා හිතේ දුකට යාලුවාගේ හිත රිදවන දේ කරලා පලිගන්න හැදුවා. කෙල්ලට තේරුම් ගන්න බැරි උනා යාලුවා මෙහෙම කරන්නේ හිතේ වේදනාවට කියලා.
    කොහොම හරි අන්තිමට යාලු කම නැති උනා. දැන් දෙන්නට දෙන්න කතා කරන්නේවත් නැහැ.

    ReplyDelete
  6. අඩෝ මොන්ටිසෝරි, ඉස්කෝලෙ 4-5 වසර විතර වෙනකං ඔහොම අවුලක් නෑ කෙල්ලො කොල්ලෝ ඉන්නේ එකට සෙල්ලම් කරන්නේ එකට (අහ් මගේ යාලුවෙක් කියපු කතාවක්: චූ කරන්න ටොයිලට් යන්නෙත් අත් අල්ලන් එකට :P ) ඔය කවුරුත් මුකුත් කියන්නේ නෑ... ඒත් 6 වසරෙන් පස්සේ ඔය හෝමෝන වෙනස් වෙනකොට (සුලාගෙන් ඇහුවනං ඔය ගැන ෆුල් ලෙකක් දේවි) තමයි දෙගොල්ලො කොල්ලෝ කෙල්ලෝ කියලා පැති 2කට කැඩෙන්නේ ඉතින් ආපහු උපේ ‍වෙනකං වගේ ඔය අවුල තියනවා ආපහු උපේ-කැම්පස් කාලේ කොල්ලෝ කෙල්ලෝ ෆිට් එකේ එකට ඉන්න ගන්නවා ඒත් ඉතින් පරන අය(ටිමෝන් කිව්වා වගේ හණමිටි අදහස් තියන අය... ආච්චිලා විශේෂයි :D) ඕක දකින්නේ වෙනස් විදිහකට මොකද ඒ අය ඔයවයසදී තත්වේ බොහොම වෙනස් ඒකයි ඔය සම වයසේ අයත් දැනට ඕක වැරදියි වගේ දකීවි ඒ වුනාට කැම්පස් වගේ සෙට් වුනොත් ඕවා ඉවරයි... අහ් තව එකක් ඒ අය දැන් ඔහොම කිව්වට අර කලින් කිව්වා වගේ කොල්ලෙක් එක්ක අත් අල්ලන් පොඩි කාලේ ටොයිලට් ගිය පොඩි කාලයක් එයාලටත් තියනවා...

    ප.ලී.
    අඩෝව්ස් අර චූ කරන සීන් එක දැකලා ඉකේයියා,චීයා,ඊයා... කියන උන්ට කියන්නේ බොලටත් එහෙම අතීතයක් තියනවා මතක නැත්තං මතක් කරගනිල්ලා

    ReplyDelete
  7. ඇත්ත... දේව්දාස් විශ්වාස කරනවා අපි හැමෝටම (හණමිටි අදහස් ඇති අයද ඇතුළුව) විරුද්ධ ලිංගික යාලුවෙක් ඉඳල තියෙනවා...නමුත් දේව්දාස් විශ්වාස කරන දෙයක් තියෙනවා... ගෑණු ළමයෙකුතත් පිරිමි ළමයෙකුටත් කවදාවත් යාලු කමකින් නම් නවතින්න අමාරුයි... එකඟ වෙන එකක් නෑ... නමුත් දේව් විශ්වාස කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  8. ඔව්ව ඉතින් කෙල්ල ගනන් නොගෙන හිටියනම් ඉවරයිනෙ..අපි කෙල්ලොත් එක්ක කෙලින පිස්සුත් එක්ක බලන කොට අපේ ඉස්කෝලෙ ඇතුලත නම් ඔය කියන එක බොහෝ විට අදාල වෙන්නෙ නෑ.
    ඉදල හිටල පන්තියක් කට් කරල බීච් එකට ගිහින් ෆන් එකක් ගැනීම වගේ..
    පිටින් නිකා බෝ පැලේ වගේ හිටියට කෙල්ලොත් ඕවට මාර ආසයි..පොඩ්ඩක් ෆෝම් කරල ගත්තාම කොල්ලන්ට හපන් ෆන් ගන්නෙ ;) ;) ;)

    ReplyDelete
  9. හෑමොම එහෙම හිතනවනම් කිසි වෑරෑද්දක් මන් දකින්නෑහෑ..නමුත් වෙලා තියන්නෙ යාළුවෙක් විදියට හිතල ලෙන්ගතු වෙනකොට අනිත් පාර්ශවය ඒක වරදවා තේරුම් ගන්නෙකයි... :)

    ReplyDelete
  10. මටත් තිබ්බෙ ඔය අවුල. මටටහ් හුගාක් පිරිමි යාලුවො ඉන්නවා. ඇත්තටම හුගාක් උදව් කරන්නෙත් පිරිමි යලුවො තමයි... මටනම් හුගාක් ව්අටිනවා.. සීමාව දැනගෙන අදටත් මං හොදින් යාලුවො අඅශ්‍රය කරනවා..
    ගෑණු ළමයෙක්ට ඉරිමි යාළුවෙක් ඉන්න එක කිසිම වැඅර්ද්දක් නෑ...

    ReplyDelete
  11. අපො ඔකේ කිසිම වැරදක් නැ ,වැරැද්ද තියෙන්න එ දිහා බලන කෙනා අතරේ,කොහොමත් ඔය වගේ පටු අදහස් අද ගොඩක් දුරට සමාජයෙන් වියෙකිලා යනවා,අනික හොදම මිතුරා හා මිතුරිය යන දෙපල සමාජයට අදාර්ශමත් විදියට හිටියනම් (හැසිරෙනවනම්) බොහො දුරට ඔව ප්‍රශ්න නෙවෙයි,එහෙනම් අර ගින්දරයි පුලුනුයි එක ලග තියන්න පුලුවන් වෙයි (නෙද)?

    ReplyDelete
  12. මගෙත් හොදම යාලුවා කෙල්ලෙක්! ඒක ගොඩක් අය මුලදි වරදවා තේරුන් ගත්තා! ඒත් දැන් ඒ ගතිය අඩුයි! ම්ම්! මේක ලංකාවනේ! කෙල්ලෙක්ගෙ හොදම යාලුවා කෙල්ලක්ම වෙන්න ඕනි ඒකයි!

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්